දියර කිරි ප්‍රචලිත කර ඉදිරි වසර හතර ඇතුළත කිරි පිටි ආනයනය නතර කරනවා – කෘෂිකර්ම ඇමති

ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මේ බව කීවේය.

මිල්කෝ සමාගමේ දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ 6ක් වුවත් දෛනිකව ලැබෙන්නේ කිරි ලීටර් ලක්ෂ 2ක් පමණක් බවත් ඉදිරියේදී විවෘත වන මාකඳුරේ කිරි කර්මාන්තශාලාවටද නිෂ්පාදන කටයුතු සඳහා ප්‍රමාණවත් වන තරම් කිරි නොලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රටේ ගවයන් ලක්ෂ 12ක් සිටියත් ඉන් කිරි ලබාගන්නේ ගවයන් ලක්ෂ දෙකහමාරකගෙන් පමණක් බවත්, තවත් කිරි ගවයන් ලක්ෂ දෙක හමාරක් ගැබ් නොගැනීම නිසා කිරි ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙරට කිරි ගන්නා ලක්ෂ දෙකහමාරක් වන ගවයන්ගෙන් එක් කිරි ගවයකුගෙන් දෛනිකව ලබා ගන්නේ කිරි ලීටර් තුනක් පමණක් බවත්, ලෝකයේ වෙනත් රටවල කිරි ගවයකුගෙන් දිනකට කිරි ලීටර් 10ත් 30ත් අතර ප්‍රමාණයක් ගන්නා බව ඇමැතිවරයා පෙන්වා දුන්නා. ඒ අනුව කිරි ගවයන්ට නිසි ලෙස ආහාර සහ ජලය ලබාදී එක් කිරි ගවයකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් දෙකකින්වත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ අමාත්‍යවරයා පවසා සිටියේ.

තවද මෙවර අයවැයෙන් සත්ව නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් බිලියන එකයි දශම පහක් වෙන් කර ඇති බවත්, මේ වසර දෙක ඇතුළත දී කිරි ගන්නා එළ ගවයන් ප්‍රමාණය ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසූ අතර, මහා පරිමාණ වතු සමාගම් සමග එකතු වී විශාල ගොවිපොළවල් තුනක් ඇති කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවත් අනාවරණය කර සිටියා. එම සමාගම් විසින් සතුන් 4500ක් ආනයනය කිරීමට නියමිත බවත්, ඊට අවසරය ලබා දෙන බවද ඇමැතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *