ශ්‍රී ලංකාවේ පවතින ඩෙංගු වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ එක්ව නව මහජන සෞඛ්‍ය පළිබෝධ පාලන හා වාහක රෝග ප්‍රතිචාර වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විදේශ මානුෂීය, ආපදා සහ සිවිල් සහාය (OHDACA) වැඩසටහන යටතේ අරමුදල් සපයනු ලබන අතර, ඇමෙරිකානු හමුදා පැසිෆික් අංශයේ (USARPAC) සහ ඇමෙරිකානු හමුදාවේ 18 වැනි තීර වෛද්‍ය අණදෙන ඒකකයේ විශේෂඥයින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරනු ඇත.
ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, මෙම වැඩසටහන මගින් නිවාරණ වෛද්‍ය විද්‍යාව, රෝග නිරීක්ෂණය, කෘමි විද්‍යාව සහ ඒකාබද්ධ වාහක පාලන ක්‍රමවේද සම්බන්ධ ඇමෙරිකානු විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.
කොළඹදී ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන්, මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පුරෝකථන පදනම් වූ වැළැක්වීමේ ක්‍රමවේදවලට සහාය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ වැඩබලන ඇමෙරිකානු තානාපති ජේන් හොවෙල් මහත්මිය සඳහන් කළේ ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ පවුල් සහ ප්‍රජාවන්ට තවදුරටත් බරපතළ අභියෝගයක් වී ඇති බවයි.
“මෙම හවුල්කාරිත්වය හරහා ඇමෙරිකානු නිවාරණ වෛද්‍ය විද්‍යාව, කෘමි විද්‍යාව, රෝග නිරීක්ෂණය සහ වාහක පාලනය පිළිබඳ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගනිමු. මෙය වත්මන් වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කරන අතර, අනාගතයේදී ශ්‍රී ලාංකික ප්‍රජාවන් ආරක්ෂා කිරීමට දිගුකාලීන හැකියාවන් ගොඩනඟනු ඇත,” යනුවෙන් ඇය පැවසුවාය.
මෙම වැඩසටහන, CARAT සහ Atlas Angel වැනි හමුදා අභ්‍යාස මෙන්ම මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමඟ පවතින පුහුණු හවුල්කාරිත්වය ඇතුළුව, ආරක්ෂාව, ඔරොත්තු දීමේ හැකියාව සහ සූදානම වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක පුළුල් ඇමෙරිකානු-ශ්‍රී ලංකා සහයෝගීතාවයේ කොටසක් බව තානාපති කාර්යාලය සඳහන් කළේය.
ස්වභාවික ආපදා, මානුෂීය හදිසි අවස්ථා සහ ඩෙංගු වැනි මහජන සෞඛ්‍ය තර්ජන ඇතුළු පොදු අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ ශ්‍රී ලංකාවේ හැකියාව ශක්තිමත් කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණ බවත්, එය ඉන්දු-පැසිෆික් කලාපයේ වඩාත් ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට දායක වන බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.


