කොරෝනා

ජනාධිපති තුමාගේ පාස්කු දින පණිවිඩය

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීමේ පාස්කු මංගල්‍යය අදට (12) යෙදී තිබේ. ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වේ.

පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙමින් වර්ධනය කර ගන්නා ශාන්‍තදායී හැඟීම් සහෝදර ජනතාව අතර ප්‍රේමය, සාමය සහ සහජීවනය, උදා කිරීමට ඉවහල් වනු ඇති බවයි.

ජනාධිපතිතුමා විසින් නිකුත් කළ පාස්කු නිවේදනයේ උපුටා ගැනීම පහතින්

“ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව ලෝකවාසී ක්‍රිස්තු භක්තිකයන් සමග එක්ව, මානව වර්ගයා පාපයෙන් මුදා ගැනීමට කුරුසිය මත ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උත්ථානය, පාස්කු මංගල්‍යය දින බැතියෙන් සිහිපත් කරති.

සිය ආත්මය සහ මනස පිරිසිදු කර ගැනීම එහි ප්‍රමුඛ අර්ථයයි. කිතුනු භක්තිකයන් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය, උත්ථානය සිහි කරමින් චතාරික සමය ගත කරන්නේ ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙමිනි. එමගින් වර්ධනය කර ගන්නා ශාන්‍තදායී හැඟීම් සහෝදර ජනතාව අතර ප්‍රේමය, සාමය සහ සහජීවනය, උදා කිරීමට ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරමි.

වර්තමානයේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග ලෝක ප්‍රජාව මුහුණ දී ඇති බරපතල ව්‍යසනය සියලු බැතිමතුන් කම්පාවට පත් කර ඇත. ජීවමාන දේව පුත්‍රයාගේ සහ පියාණන්ගේ දිව්‍ය මහිමයෙන් දුකට පත් සියලු ජනතාවට අස්වැසිල්ලක් අත්කර දීම ඔවුන්ගෙ අපේක්ෂාවය.

පාස්කු දින මංගල්‍යය මේ රටේ කිතුනු බැතිමතුන්ගේ සොඳුරු ආගමික මතකයකි. එහෙත් පසුගිය වසර ඉතා වේදනාත්මක එකක් බවට පත්විය. අදටත් එහි කම්පනය මැකී ගොස් නැත. රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීමයි. එසේම එවන් වූ සිදුවීම් මාතෘ භූමියෙන් තුරන් කිරීමට ද රජය දැඩිව වග වී සිටී.

රටත්, ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජයේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව නිවෙස්වල සිට ජේසු සමිඳාණන් වෙනුවෙන් කැප වෙනු ඇතැයි රජය බලාපොරොත්තු වෙයි.

ජේසුස් වහන්සේගේ දේශනා සිහි කරමින් මනුෂ්‍යයා පාපයෙන් මුදා ගැනීමට ඔබටත්. පවුලේ සැමටත් හැකි වේවා යි මම ප්‍රාර්ථනා කරමි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *