කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධකරුවන් පිරිසක් විසින් ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම පිළිඹදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ප්‍රධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් බන්ධනාගාර මූලස්ථානයට ඊයේ (20 ) උදෑසන පැමිණ කොමසාරිස්වරුන් වන චන්දන ඒකනායක, තුසිත උඩුරව හා බන්ධනාගාර බුද්ධි ප්‍රධානී සහකාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක යන අයගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.
ඉකුත්දා කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩි ලැසී, පිටිගල කැවුමා ඇතුළු පාතාල නායකයින් බූස්ස බන්ධනාගාරයේ සිදුකළ ආහාර වර්ජනය පිළිඹද සොයා බැලීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් ජූනි 26 වැනිදා බූස්සට ගොස් ඇති අතර එහිදී තාරක, ලැසී ඇතුළු පිරිස “ජනපති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් තමන්ට ලොකු නැති බවත් අවි ආයුධ හා සාමාජිකයන් සමග තම ජාලය තවමත් ක්‍රියාත්මක බවත්” කියමින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
අනතුරුව මෙම නිලධාරීන් තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට පැමිණිළි කර තිබුණු අතර බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරයා පොලිස්පතිවරයා හා ආරක්ෂක අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසියට ඊයේ (20) සිට විමර්ශන භාරදී ඇත.