ගෙවතු දස ලක්ෂයක් සමගින් “සෞභාග්‍යා ගෙවත්ත” දිප ව්‍යාප්ත වැඩසටහන

ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා හෙවත් කොව්ඩ් 19 වසංගත තත්වය හමුවේ අඛන්ඩව රටෙහි ආහාර ද්‍රව්‍ය ලබාදීම අරමුණු කරගෙන රටතුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ.

එහි එක් වැදගත් වැඩපිළිවෙළක් ලෙස නාගරික හා අර්ධ නාගරික ජනතාව ඇතුළු සමස්ත ජනතාව ඉලක්ක කරගනිමින් ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමේ “සෞභාග්‍යා ගෙවත්ත” කඩිනම් වැඩසටහන ආරම්භ කොට ඇත. මෙහිදී බීජ වර්ග 5 කින් යුත් බීජ පැකැට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20ක් වැනි සහන මිලකට ලබා දෙන අතර, තවද වර්ග 3 කින් යුත් එළවළු පැළ සහිත බදුනක් රුපියල් 20ක සහන මිලකට සුදුසු පරිදි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ඔබට ලබා දීමට කටයුතු කොට ඇත.

මෙම වැඩසටහන ඉලක්ක කරගනිමින් විශේෂිත වෙබ් අඩවියක් ආරම්භ කොට ඇත. ඒ අනුව www.saubagya.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ගෙවතු වගාව සදහා ඔබට අවශ්‍ය බීජ සහ පැළ ඇණවුම් කළ හැක. තවද ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි අතර ඔබගේ වටිනා අදහස් අන්‍යයන් සමග බෙදා ගැනීම මෙන්ම ඔබ සතු යෝජනාද මේ තුළින් ඉදිරිපත් කළ හැක. එහිදී ගෙවතු වගාවේ නියැළෙන ඔබට මෙම වෙබ් අඩවිය ඒ සදහා වේදකාවක් ලෙස යොදා ගත හැකිවීම විශේෂත්වයකි.

මීට අමතරව දැනට ආනයනික අතිරේක බෝග 14ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළක් ද අප්‍රේල් 04 වැනි දින ආරම්භ කිරීමට නියමිතය.

මෙම සමස්ත වැඩසටහන තුළින් අප අපේක්ෂා කරනුයේ අර්බුදකාරී අවස්ථාවට ශක්තිමත්ව මුහුණදීම සදහා රට තුළ ආහාර නිෂ්පාදනය ගැටලුවක් නොවීමට වග බලා ගැනීමයි. මෙම සියලු තත්වයන් අවබෝධ කරගෙන සෞඛ්‍ය අංශයේ උපදෙස් නිසියාකාරව පිළිපදිමින් මෙම වැඩසටහනට උනන්දුවෙන් හා උද්යෝගයෙන් දායක වන ලෙසට මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා රජය වෙනුවෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *