Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ගුවනේදී එල්ල වූ බෝම්බ බියෙන් යුරෝපය කැළඹෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

යුරෝපයේ ප්‍රධාන ගමනාන්ත රැසක් බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානා කිහිපයක් ඉලක්ක කරගනිමින් එකවර බෝම්බ තර්ජන එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ඇතැම් ගුවන් යානා හදිසි ගොඩබෑම්වලට ලක්කිරීමටත්, තවත් යානා ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානාවල දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගොඩබැස්සවීමටත් පියවර ගෙන තිබේ.

ස්කයි නිවුස් (Sky News) වාර්තා කරන අන්දමට, ඩබ්ලින් නුවර සිට රෝමය බලා පියාසර කරමින් තිබූ ‘එයාර් ලින්ගස්’ (Aer Lingus) සමාගමට අයත් EI402 දරන ගුවන් යානයට බෝම්බ තර්ජනයක් එල්ල වීම නිසා, එය ප්‍රංශයේ නොර්මන්ඩි හි එව්රුක්ස් (Evreux) හමුදා ගුවන් කඳවුර වෙත හදිසියේ හරවා යැවූ බව ප්‍රංශ අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කළේය. එහි සිටි මගීන් 151 දෙනා සහ කාර්ය මණ්ඩලයේ හයදෙනා ආරක්ෂිතව ඉවත් කර හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශ මඟින් යානය දැඩි පරීක්ෂාවට ලක්කර ඇත.

බල්ගේරියාව, ඉතාලිය සහ චෙක් ජනරජය කලබල වෙයි

මෙම සිදුවීමට සුළු මොහොතකට පසු, බෝම්බ තර්ජන හේතුවෙන් ගුවන් යානා තුනක් බල්ගේරියාව වෙත හදිසි ගොඩබෑම් සිදුකර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. කොපන්හේගන් සහ මැඩ්රිඩ් සිට පැමිණි යානා දෙකක් සොෆියා අගනුවරටත්, ලන්ඩන් සිට පැමිණි තුන්වැනි යානය ප්ලොව්දිව් නගරයටත් ගොඩබස්වා තිබේ.

මේ අතර, හෙල්සින්කි සිට රෝමය බලා පියාසර කළ ‘ෆින්එයාර්’ (Finnair) ගුවන් යානයකට එල්ල වූ බෝම්බ අනතුරු ඇඟවීමත් සමඟ, ඉතාලි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානාවල පූර්ණ ආරක්ෂාව සහිතව එය රෝම අගනුවර වෙත ගොඩබැස්සවීමට කටයුතු කෙරිණි. පෝලන්තයේ වෝර්සෝ සිට බ්‍රසල්ස් බලා ගිය ගුවන් යානයක්ද ආරක්ෂක අනතුරු ඇඟවීමක් මධ්‍යයේ ගොඩබස්වා පරීක්ෂා කළද කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවීය.

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර බලා පියාසර කළ ගුවන් යානා හතරකටද මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී ඇති අතර, එම සියලු යානා දැඩි ආරක්ෂක පරීක්ෂාවන්ට ලක්කර ඇත.

රුසියානු හෝ ඉරාන සම්බන්ධයක්ද?

පසුගිය දින කිහිපය තුළද බ්‍රිතාන්‍යයේ ගුවන් යානා දෙකක් ඇතුළුව යුරෝපය පුරා ගුවන් ගමන් අවම වශයෙන් හතකට මෙවැනි ව්‍යාජ බෝම්බ තර්ජන එල්ල වීම නිසා ගුවන්තොටුපොළවල් තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

මෙම අඛණ්ඩ තර්ජන පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත. කෙසේවෙතත්, ගුවන් සේවා ආරක්ෂණ උපදේශන ආයතනයක් වන ‘ඔස්ප්‍රේ ෆ්ලයිට් සොලියුෂන්ස්’ (Osprey Flight Solutions) හි මැතිව් බෝරි පෙන්වා දෙන්නේ, යුරෝපය පමණක් ඉලක්ක කරගනිමින් සිදුවන මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් පිටුපස රුසියානු හෝ ඉරාන මුහුණුවරක් සහිත ‘දෙමුහුන් යුද උපක්‍රමයක්’ (Hybrid warfare) පැවතීමේ දැඩි හැකියාවක් ඇති බවයි.

ඔබේ අදහස