ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇති වූ තවත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පැය ගණනක් ගුවන් යානා ගුවන්ගත කිරීමට නොහැකි වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් බදාදා දිනය දක්වාම පැවතිය හැකි බවට අනතුරු ඇඟවී තිබේ. මේ හේතුවෙන් මගීන් ලක්ෂ ගණනකට බලපෑම් එල්ල වී ඇත.
ගුවන් යානා ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන Flightradar24 සඳහන් කළේ බදාදා බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළ වෙත සහ ඉන් පිටතට යාමට නියමිතව තිබූ ගුවන් ගමන් අවම වශයෙන් 177ක් අවලංගු කර ඇති බවයි. ඉන් බොහෝමයක් ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ ආශ්‍රිත ගුවන් ගමන් බව එම වෙබ් අඩවිය පවසයි. අඟහරුවාදා රාත්‍රී 8.00 පමණ වන විට ගුවන් ගමන් 1,000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබිණි.
බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන සේවා සපයන Nats ආයතනයේ ඇති වූ මෙම “තාක්ෂණික දෝෂය” වසර තුනකට මඳක් වැඩි කාලයක් තුළ එරට ගුවන් සේවා පද්ධතියට බලපෑ තුන්වැනි ප්‍රධාන බාධාව බව වාර්තා වේ.
Nats ආයතනය අඟහරුවාදා සවස ප්‍රකාශ කළේ, දෝෂයෙන් පසු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම “ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්” වූ බවත්, එමගින් සමස්ත ගුවන් සේවා ජාලයටම ගැටලු ඇති වූ බැවින් තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බවත්ය.
මෙම දෝෂය අඟහරුවාදා පස්වරු 1.00 පමණ ආරම්භ වී ඇති අතර, හීත්‍රෝ, ගැට්වික්, මැන්චෙස්ටර් සහ ස්ටැන්ස්ටඩ් ඇතුළු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසකින් පිටත්වීමට නියමිත ගුවන් ගමන්වලට බලපෑම් එල්ල විය.
පැය හතරකට ආසන්න කාලයකට පසු Nats ආයතනය තම ගුවන් ගමන් සැකසුම් පද්ධතියේ දෝෂය නිවැරදි කළ බව නිවේදනය කළද, ඒ වන විට පිටත්වීමට නියමිතව තිබූ බොහෝ ගුවන් යානා තවමත් ගුවන්ගත වී නොතිබිණි. පසුව මෙම බාධාව දකුණු එංගලන්තයේ ගුවන් තොටුපළ රැසකට පැමිණෙන ගුවන් ගමන්වලටද බලපෑවේය.
අඟහරුවාදා සවස දක්වාම ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාදවීම් පැවති අතර, British Airways ප්‍රකාශ කළේ මෙම බාධාව බදාදා දිනයේදීද අවම වශයෙන් තවදුරටත් බලපානු ඇති බවයි. බලපෑමට ලක් වූ මගීන්ට සිකුරාදා දක්වා ගුවන් ගමන් නොමිලේ නැවත වෙන්කරවා ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.
Nats ආයතනය බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපළ 15කට ගුවන් ගමන් පාලන සේවා සපයයි.
Ryanair ගුවන් සේවය සඳහන් කළේ මගීන් 65,000කට වැඩි පිරිසක් ප්‍රමාදවීම්වලට මුහුණ දී ඇති අතර ගුවන් ගමන් 50ක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි. මෙම තත්ත්වයේ බලපෑම් යුරෝපය පුරා ගුවන් ගමන්වලටද පැතිර ගොස් ඇති බව easyJet සඳහන් කළේය.
යුරෝපීය ගුවන් අවකාශ සම්බන්ධීකරණ ආයතනය වන Eurocontrol පැවසුවේ ඇතැම් පැමිණෙන ගුවන් ගමන් විදේශීය ගුවන් තොටුපළවල රඳවා තැබීමට සිදුවූ බවයි.
ලන්ඩනයේ ගුවන් තොටුපළ මෙන්ම මැන්චෙස්ටර් සහ බර්මින්හැම් ගුවන් තොටුපළද මෙම දෝෂයෙන් සෘජුවම දැඩි බලපෑමට ලක්වූ ගුවන් තොටුපළ අතර වේ. එඩින්බරෝ සහ බෙල්ෆාස්ට් ඇතුළු බ්‍රිතාන්‍යයේ අනෙකුත් ගුවන් තොටුපළවලටද බලපෑම් එල්ල විය.
හීත්‍රෝ ගුවන් තොටුපළ අඟහරුවාදා රාත්‍රියේ ප්‍රකාශ කළේ පිටත්වන ගුවන් ගමන් යම් යම් බාධා මධ්‍යයේ නැවත ආරම්භ කර ඇති නමුත්, පැමිණෙන ගුවන් ගමන් එදින රාත්‍රිය පුරාම අත්හිටුවා ඇති බවයි.
Nats ආයතනය මුලින්ම පස්වරු 1.46ට නිවේදනය කළේ ගුවන් ගමන් පිටත්වීම්වලට යම් බාධාවක් ඇති කරන තාක්ෂණික දෝෂයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි. පසුව එම ගැටලුව ගුවන් ගමන් සැකසුම් පද්ධතියේ ඇති වූ දෝෂයක් බව හඳුනාගෙන ඇති අතර, පස්වරු 4.40ට එය නිවැරදි කළ බව නිවේදනය කළේය.
Nats ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම දෝෂය 2023 සහ 2025 වසරවලදී ගුවන් ගමන් විශාල වශයෙන් අඩාල කළ දෝෂවලට සමාන නොවන බවයි.
“අපි ගුවන් සමාගම් සහ ගුවන් තොටුපළ සමඟ සමීපව කටයුතු කරමින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා. අද ජනතාවගේ ගමන් බිමන්වලට සිදුවූ බාධාව සම්බන්ධයෙන් අපි අවංකවම කනගාටු වෙනවා. මගීන් තම ගුවන් සමාගම සමඟ තොරතුරු පරීක්ෂා කරමින් සිටිය යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.
Nats ප්‍රධාන විධායක නිලධාරී Martin Rolfe බදාදා දිනයේදී මෙම දෝෂය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය Heidi Alexander වෙත කරුණු පැහැදිලි කිරීමට නියමිතය. Alexander එදින පාර්ලිමේන්තුවේදී සිවිල් ගුවන් සේවා පනත් කෙටුම්පතේ දෙවැනි කියවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අමතනු ඇත.
මෙම තත්ත්වයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනා වෙනුවෙන් තම “දැඩි කනගාටුව” පළ කරන බව Rolfe පැවසීය.
Sky News වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“මේ සම්බන්ධයෙන් අපි සම්පූර්ණ වගකීම භාර ගන්නවා. මේ ආකාරයේ දෙයක් සිදුවීම අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගීන්ට මෙය කොතරම් කලකිරීමක්ද කියා මට සම්පූර්ණයෙන්ම තේරෙනවා” යනුවෙනි.
කෙසේ වෙතත් මෙවැනි දෝෂ “සාපේක්ෂව දුර්ලභ” බවද ඔහු පැවසීය.
“අපි පද්ධති නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන තත්ත්වයට ගෙන ආවා. නමුත් මේ වන විට පද්ධතිය තුළ විශාල බාධාවක් ගොඩනැගී තිබෙනවා. හැකි තරම් මිනිසුන්ට ගමන් කිරීමට අවස්ථාව සලසා දීම සඳහා රාත්‍රිය පුරා ගුවන් සමාගම් සහ ගුවන් තොටුපළ සමඟ ඉතා සමීපව කටයුතු කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගුවන් ගමන් පාලන ගැටලුවට පෙර වසරේ සිදුවූ “හුදකලා සිදුවීමක්” හේතුවෙන්ද පුළුල් ගුවන් ගමන් බාධාවක් ඇති විය. එය 2023 අගෝස්තු මාසයේදී සිදුවූ සමස්ත ගුවන් ගමන් පද්ධතියම අඩපණ වූ තත්ත්වයට වඩා අඩු බරපතළ තත්ත්වයක් බව පෙනී යයි. 2023 සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශනයක්ද සිදුකර තිබිණි.
British Airways ප්‍රකාශ කළේ මෙම දෝෂයේ බරපතළකම හේතුවෙන් මගීන් සහ සේවකයන් යන දෙපාර්ශ්වයටම “සැලකිය යුතු අමතර බලපෑමක්” ඇති වන බවයි.
“අඟහරුවාදා පස්වරුවේ ගුවන් ගමන් 100කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට අපට සිදුවුණා. එමගින් මගීන් දස දහස් ගණනකට අපහසුතාවට පත්වීමට සිදුවුණා” යනුවෙන් එම ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු පැවසීය.
“මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම අපගේ පාලනයෙන් බැහැර දෙයක්. ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය නියමිත ස්ථානවල නොසිටීම හේතුවෙන් අපගේ මගීන්ට සහ සේවකයන්ට මෙය අතිශය කලකිරීමට හේතුවක් වී තිබෙනවා.”
මෙම සිදුවීමත් සමඟ Nats ආයතනය ප්‍රතිසංවිධානය කළ යුතු බවට ගුවන් සමාගම් යළිත් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
Ryanair යළිත් Nats ප්‍රධාන විධායක නිලධාරී Martin Rolfe ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටියේය.
එම ගුවන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Neal McMahon පැවසුවේ,
“නිවාඩුවක් ගත කිරීමට යන පවුල්, රැකියා කටයුතු සඳහා ගමන් කරන පුද්ගලයන් සහ බ්‍රිතාන්‍යයට පැමිණෙන දහස් ගණනක් සංචාරකයන් යළිත් වරක් Nats ආයතනයේ බරපතළ අසාර්ථකත්වයට වන්දි ගෙවීමට සිදුව තිබෙනවා” යනුවෙනි.
Nats ආයතනයේ නැවත නැවත සිදුවන අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම නවතා, බ්‍රිතාන්‍ය ගුවන් ගමන් පාලන පද්ධතිය මෙහෙයවීමට හැකියාව ඇති නව නායකයෙකු පත් කළ යුතු බවද ඔහු ඉල්ලා සිටියේය.
Wizz Air ගුවන් සේවයද දැඩි විවේචනයක් එල්ල කරමින්, ජාතික වැදගත්කමක් ඇති තීරණාත්මක යටිතල පහසුකම් සපයන්නෙකු හේතුවෙන් ගුවන් සේවා පද්ධතිය නැවත නැවතත් සම්පූර්ණයෙන් අඩපණ වීම පිළිගත නොහැකි බව පැවසීය.
“දැනට පවතින ස්වරූපයෙන් Nats ආයතනය සිය වගකීම ඉටු කිරීමට සුදුසු තත්ත්වයක නැහැ” යනුවෙන් Wizz Air ප්‍රකාශ කළේය.
ප්‍රවාහන අමාත්‍ය Heidi Alexander පැවසුවේ හීත්‍රෝ සහ ගැට්වික් ඇතුළු ගුවන් තොටුපළවල ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂයක් පිළිබඳව තමන් දැනුවත් බවයි.
“තාක්ෂණික නිලධාරීන් ගැටලුව හඳුනාගෙන ඇති අතර මේ මොහොතේ එය නිවැරදි කරමින් සිටිනවා. මගීන්ට මෙය කෙතරම් කලකිරීමක්ද කියා මම දන්නවා. ඒ සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා.
මෙයින් පාඩම් ඉගෙන ගන්නා බවටත්, ගුවන් සේවා පද්ධතියට සහාය වන පද්ධති ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට හැකි තත්ත්වයක පවතින බවටත් මම සහතිකයක් ඉල්ලා සිටිනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.


