කොරෝනා වෛරසයට එරෙහිව අමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 25ක්

නව කොරෝනා වෛරසය පැතිර යෑම සහ ආසාදනය වැළැක්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.3ක (රුපියල් කෝටි 25 කට අධිකයි) මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

ආසාදිතයන් සොයාගැනීම හා සෝදිසි කිරීම්, ප්‍රතිචාර දැක්වීම හා සූදානම්වීම සඳහා තාක්ෂණික විශේෂඥ සහාය, අවදානම් සන්නිවේදනය, ආසාදනයවීම වැළැක්වීම සහ වෛරසය ව්‍යාප්තවීම පාලනය ඇතුළු කටයුතු සඳහා මූල්‍ය ප්‍රදානය මෙරටට ලැබෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. මෙම මුදල අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන අමෙරිකා එක්සත් ජනපද ආයතනය හරහා මෙරටට ලබාදීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ මිත්‍ර පාර්ශ්වකරුවකු ලෙස අමෙරිකාව විසින් මේ ආධාරය ලබාදෙන අතර, මේ ආධාරය තුළින් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *