කොටුගොඩ මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ – රිය පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ව ආදාහන පූජෝත්සවය අද (25) කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මහානාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1.00ට ගල්කිස්ස ධර්මපාල විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වී පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරස්‍රයට ළඟා වීමට නියමිතව තිබේ.

මේ අතර මහානාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන් කිරීම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත්, එම කාලසීමාවේදී අදාළ මාර්ගයෙන් බැහැරව විකල්ප මාර්ග භාවිත කරන ලෙසටත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

රිය පෙරහැර ගමන් ගන්නා මාර්ගය පහත පරිදි වේ.

ගල්කිස්ස ශ්‍රී ධර්මපාල මාවතේ පිහිටි ධර්මපාල විහාරස්ථානයේ සිට ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස වමට හැරී, ගාලු පාර ඔස්සේ දෙහිවල, වැල්ලවත්ත පසුකර ගාලු පාර බම්බලපිටිය වජිර පාර හංදියෙන් දකුණට හැරී වජිර පාරෙන් හැව්ලොක් පාරට පිවිස වමට හැරී, හැව්ලොක් පාර ඔස්සේ තුන්මුල්ල හංදිය, තර්ස්ටන් පාර, කේම්බ්‍රිජ් පෙදෙස, ජාතික කෞතුකාගාර හංදියෙන් දකුණට හැරී ඇල්බට් ක්‍රසන්ට් මාවතේ ගමන්කර නන්දා මෝටර්ස් හංදියෙන් දකුණට හැරී නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ නිදහස් චත්‍රරශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.