ඉඩම් කොමසාරිස් ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉඩම් කොමසාරිස් බන්දුල ජයසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඉඩම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් යසන්ත කෝදාගොඩ,  ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

එමෙන්ම අදාළ පෙත්සම සම්බන්ධයෙන් අගෝස්තු 8 වනදා අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසමේ සාමාජිකයන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළ අතර අදාළ අතුරු තහනම් නියෝගය  පෙත්සම් විභාගය  අවසන් වනතෙක් බලපැවැත්වෙන බවත් නියෝග කෙරිණි.

ඉකුත් වසරේ දෙසැම්බර් 22 වනදා හෝ ඊට ආසන්න දිනයක පෙත්සම්කරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නීතිවිරෝධී ලෙස වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධියකට ආධාර අනුබලදීම තුළින් රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් පෙත්සම්කරුට  එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා සඳහන් කළේය.

නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 02 වනදා බවත් පෙත්සම්කරුට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ අවස්ථාවේ නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පත්කර නොතිබූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව පැරණි අල්ලස් පනත යටතේ පත්කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙත්සම්කරුට එරෙහිව නව පනත යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව දූෂණ විරෝධී පනතක් සම්මත කළද පැරණි අධ්‍යක්ෂ ජනරාල්වරයාට කටයුතු කිරීමට හැකියාවක් තිබෙන බව පෙන්වා දුන්නේය.

පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බවත් එබැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *