“විෂ වාතය ආරක්ෂිත බව කියමින් ජනතාවට බොරු කිව්වා” 9/11 ප්‍රහාරයෙන් වසර 25කට පසු ලේඛන 170,000කින් හෙළිදරව්වක්

2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 25කට පසු, නිව්යෝර්ක් නගරයේ නගරාධිපති සෝරන් මාම්දානි විසින් අභ්‍යන්තර ලේඛන පිටු 170,000කට වැඩි ප්‍රමාණයක් ඊයේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එම ලේඛනවලින් හෙළිවන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි කඩා වැටීමෙන් පසු Ground Zero ආශ්‍රිත වාතය ආරක්ෂිත බව පවසමින් නිලධාරීන් ජනතාව නොමඟ යවා ඇති බවට සාක්ෂි පවතින බවයි.

“ජනතාව විශ්වාස කළ නායකයන් විෂ සහිත වාතය ආශ්වාස කිරීමට ආරක්ෂිත බව පවසමින් ඔවුන්ට බොරු කී නිසා මිනිසුන් රෝගී වුණා” යනුවෙන් මාම්දානි පැවසීය.

ඇල්කයිඩා සංවිධානය විසින් පැහැරගත් මගී ගුවන් යානා යොදාගෙන සිදුකළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මියගොස් වසර 25ක් සම්පූර්ණ වීම සැමරීමට එක්සත් ජනපදය සූදානම් වන අවස්ථාවකට දින කිහිපයකට පෙර මෙම ලේඛන ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එම ප්‍රහාරයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් කුළුණු දෙක කඩා වැටුණු අතර, පෙන්ටගනයට හානි සිදුවිය. තවත් ගුවන් යානයක් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෂැන්ක්ස්විල් ආසන්නයට කඩා වැටුණි.

Ground Zero හි මියගිය පුද්ගලයන්ගේ සිරුරු සහ කොටස් සොයමින් කටයුතු කළ පසු රෝගාතුර වූ පළමු ප්‍රතිචාර කණ්ඩායම්වල සාමාජිකයන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි ප්‍රකට විකට ශිල්පියෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන ජෝන් ස්ටුවර්ට්ද මාම්දානිගේ මාධ්‍ය හමුවට එක්විය.

“වාතයේත්, පොළොවේත්, ජනෙල් පඩිවලත්, වායු සමීකරණ යන්ත්‍රවලත් විෂ තිබුණා. එය සතුන්ගේ සහ මිනිසුන්ගේ ඇඳුම්වල පවා තැවරී තිබුණා. ඒවා මාස ගණනක් එතැන තිබුණා” යනුවෙන් ස්ටුවර්ට් පැවසීය.

“හැමෝම ඒ ගැන දැනගෙන හිටියා. දැන් නගරයත් ඒ ගැන දැනගෙන සිටි බව ඉතා පැහැදිලියි” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලේඛනවලින් හෙළිවන ප්‍රධාන කරුණු

අඟහරුවාදා ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර ඒවා පරීක්ෂා කළ The New York Times අනුව, ලේඛනවලින් හෙළිවන ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය.

• සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු දින කිහිපය තුළ පහළ මැන්හැටන් ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් ලබාගත් දූවිලි සාම්පලවල ඇස්බැස්ටස් මට්ටම අවදානම් සීමාවන් ඉක්මවා තිබී ඇත.
• පහළ මැන්හැටන් ප්‍රදේශයේ දූවිලි සහ වාතයේ ඇස්බැස්ටස් ඇතුළු වෙනත් දූෂක ද්‍රව්‍ය පිළිගත හැකි සීමාවන් ඉක්මවා තිබී ඇත.
• 2011 නොවැම්බර් මාසයේ සිදුකළ පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ පිළිකා ඇති කළ හැකි බෙන්සීන් ද්‍රව්‍යයේ මට්ටම කුළුණු දෙක පැවති ස්ථාන ආසන්නයේ වාතයේ තවදුරටත් ඉහළ යමින් තිබූ බවයි.
• එම පරීක්ෂණයෙන් ස්ටැටන් අයිලන්ඩ්හි Fresh Kills කසළ ගොඩබිමේ වාතයේ තිබූ ඇස්බැස්ටස් ප්‍රමාණයද ප්‍රහාරයෙන් පසු ඉහළ ගොස් තිබූ බව හෙළිවී ඇත.
• පහළ මැන්හැටන්හි පදිංචි කාන්තාවක් පෙබරවාරි මාසයේදී පරිසර ආරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යවමින් තම ගොඩනැගිල්ල තුළ සහ අවට තිබූ දූෂක ද්‍රව්‍ය ඉවත් කිරීමේදී නිලධාරීන් විසින් සිදුකළ බව කියන අතපසුවීම් පිළිබඳව විස්තර කර තිබේ.

Asbestos.com අනුව, ප්‍රහාරයෙන් පසු විෂ සහිත දූවිලිවලට පුද්ගලයන් 410,000ත් 525,000ත් අතර පිරිසක් නිරාවරණය වී තිබේ. ඊට ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන කටයුතුවල නිරත වූ සේවකයන් 90,000ක් පමණ ඇතුළත්ය.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන සෞඛ්‍ය ලේඛනාගාරයට අනුව, 2025 වන විට 9/11 ප්‍රහාරය ආශ්‍රිත පිළිකා රෝගවලින් පුද්ගලයන් 44,000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ. එමෙන්ම ප්‍රහාරයෙන් පසු ඇති වූ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පුද්ගලයන් 63,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇත.

මෙම ලේඛන පසුගිය වසරේදී සොයාගෙන ඇත්තේ මහජනතාවගෙන් සඟවා රජයේ කාර්යාලයක පෙට්ටි 68ක තැන්පත් කර තිබියදී බව නගර බලධාරීහු සඳහන් කළහ.

මෙම ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ 9/11 Health Watch නම් සංවිධානය විසින් ගොනුකර තිබූ නඩුවක්ද විසඳී තිබේ.

කෙසේ වෙතත්, ලේඛනවලින් හෙළිවන තොරතුරු හේතුවෙන් 9/11 ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වූ පුද්ගලයන් විසින් නව නඩු පැවරීමට හෝ පවතින නඩු සංශෝධනය කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

එමෙන්ම සැප්තැම්බර් 11 වින්දිතයන් සඳහා වන ෆෙඩරල් වන්දි අරමුදලෙන් ගෙවීම් ඉල්ලා සිටින පුද්ගලයන්ගේ ඉල්ලීම්වලටද මෙම ලේඛන මගින් ශක්තියක් ලැබිය හැකි බව සඳහන් වේ.

නිව්යෝර්ක් නගරයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලය පසුගිය මාසයේ නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන අනුව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පුද්ගලයන් 2,753 දෙනෙකු මියගොස් තිබේ.

ඒ අතරට නගර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිනි නිවන භටයන් 343 දෙනෙකු, Port Authority පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 37 දෙනෙකු, නගර පොලිස් නිලධාරීන් 23 දෙනෙකු සහ පරිපූරක වෛද්‍ය නිලධාරීන් හා හදිසි වෛද්‍ය කාර්මිකයන් 8 දෙනෙකු ඇතුළත් වේ.

ගියුලියානි වාතය ආරක්ෂිත බව පවසා තිබුණා

9/11 ප්‍රහාර සිදුවන අවස්ථාවේ නිව්යෝර්ක් නගරාධිපතිවරයා වූ Rudolph Giuliani, ප්‍රහාරයෙන් පසු Ground Zero ආශ්‍රිත වාතය ආරක්ෂිත බවට අවස්ථා ගණනාවකදී සහතික වී තිබිණි.

2001 ඔක්තෝබර් අගදී “සමහර වෙලාවට ගඳ ඉතා භයානකයි” යනුවෙන් පිළිගත් ඔහු, toxic chemicals සහ metals පරිසරයට මුදාහැර ඇති බවට New York Daily News වාර්තා කළ පසු මෙසේ පැවසීය.

“ඔබට ඒකේ ගඳ දැනෙනවා. ඒ නිසා ඒකේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා හිතෙනවා. නමුත් මට කියලා තියෙන්නේ එය ඔබේ සෞඛ්‍යයට අනතුරුදායක නැහැ කියලයි.”

ඔහුගෙන් පසු නගරාධිපතිවරයා වූ Michael Bloomberg ද 2002 පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කර තිබුණේ සිදුකළ සෑම පරීක්ෂණයකින්ම වාතයේ ගුණාත්මකභාවය පිළිගත හැකි සීමාවන් තුළ පැවති බවයි.

“සමහර අය කවදාවත් ඒක විශ්වාස කරන්න කැමති වෙන්නේ නැහැ” යනුවෙන් Bloomberg එහිදී පවසා තිබිණි.

අඟහරුවාදා නිකුත් කළ ලේඛන නොමිලේ බාගත කරගත හැකි අතර, ඒ සඳහා නගර බලධාරීන් විසින් සෙවිය හැකි වෙබ් අඩවියක්ද හඳුන්වා දී තිබේ.

නගර නීති උපදේශක Steven Banks එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපය තුළ තවත් ලේඛන අදියරෙන් අදියර ප්‍රසිද්ධියට පත් කරන බවයි.

ඒ අතර “Harding Memo” ලෙස හඳුන්වන ලේඛනයක්ද තිබේ. එය එවකට නියෝජ්‍ය නගරාධිපති Robert Harding වෙත යවා ඇති අතර, එහි මාතෘකාව වූයේ “9/11/01 සම්බන්ධයෙන් නගරයේ වගකීම සීමා කිරීම සඳහා ව්‍යවස්ථාදායක විකල්ප” යන්නයි.

එම ලේඛනයෙන් ප්‍රහාරයෙන් පසු නගර බලධාරීන් විසින් ගත හැකි නීතිමය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලූ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බව Banks පැවසීය.

විශේෂයෙන්ම විෂ සහිත ද්‍රව්‍යවලට නිරාවරණය වීම සහ ආරක්ෂක උපකරණ ප්‍රමාණවත්ද යන්න සම්බන්ධයෙන් අනාගතයේදී විශාල නඩු සංඛ්‍යාවකට මුහුණදීමට සිදුවීම පිළිබඳ නගර බලධාරීන්ගේ අවධානයද එහි සඳහන් බව ඔහු පැවසීය.

නගරයේ විමර්ශන දෙපාර්තමේන්තුව මේ වනවිට වාතයේ ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු පිළිබඳව නිලධාරීන් දැන සිටියේ කුමක්ද, ඒවා දැනගත්තේ කවදාද සහ එම තොරතුරු මහජනතාවගෙන් සඟවා තිබුණේ මන්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මාම්දානි මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ,

“9/11 දිනයේදී මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් මේ වන විට 9/11 ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියගොස් තිබෙනවා” යනුවෙනි.

“පිළිතුරු සහ පැහැදිලි කිරීම් ඉල්ලා සිටි ජනතාව නොසලකා පාලන කාලයෙන් පාලන කාලයට රජයන් කටයුතු කර තිබෙනවා. අපි එහෙම කරන්නේ නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

The Daily Show නම් උපහාසාත්මක රූපවාහිනී වැඩසටහනේ නිර්මාතෘ සහ සම-නිවේදකයා වන ජෝන් ස්ටුවර්ට් පැවසුවේ, ලේඛනවලට අනුව පහළ මැන්හැටන්හි වාතය විෂ සහිත බව නගර බලධාරීන්ට අවබෝධ වී ඇත්තේ 2001 ඔක්තෝබර් මාසයේදී බවයි.

“ඒ නිසා සාධාරණව කියනවා නම්, ඔවුන් ඒ තොරතුරු අවුරුදු 25ක් පුරා සඟවාගෙන හිටියා විතරයි” යනුවෙන් ඔහු උපහාසාත්මකව පැවසීය.

මේ අතර, මාම්දානිගේ මාධ්‍ය හමුවෙන් පසු අඟහරුවාදා Giulianiගේ X ගිණුමේ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් නිකුත් කළ බව සඳහන් සටහනකින් කියා තිබුණේ, එවකට පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් වාතය ආරක්ෂිත බව පැවසූ බවත්, එය ඔවුන්ගේ වැරැද්දක් වූ නමුත් කිසිවෙකු තොරතුරු සඟවා නොතිබූ බවත්ය.

එම සටහනේ වැඩිදුරටත් සඳහන් වූයේ, 9/11 ප්‍රහාරයට සම්බන්ධ පෙනහළු රෝගයකින් Giulianiද පීඩා විඳින බවත්, ජනතාවට උපකාර කිරීමෙන් ඔහුව වළක්වාගත නොහැකි වූ නිසා එම රෝගයට ඔහුද ගොදුරු වූ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *