LK reports news sinhala

“අපේ නීතිය අපි වෙනස් කරන්නෑ – අපේ නීතිය අපිට” යි කී අසාද් සාලිව අත්අඩංගුවට ගතයුතුයි

ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

අසාද් සාලි මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ “ජාතිවාදය ඔලුවට ගැහුවම මුස්ලිම් නීතිය අල්ලාගෙන එනවා. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් අපි වෙනස් කරන්නෑ. අපේ නීතිය අපිට, ඕගොල්ලන්ගේ නීතිය ඕගොල්ලන්ට. හරි වැරදි බල්න්නේ අපි. අපේ කුරාණයයි, හදීෂියයි, ශර්යායි අපේ නීති රීතිනම් අපි ඒක ගරු කරනවා මිසක් රජයේ නීති බලන්නේ නෑ, රජයේ නීතිය රජයට, ඒ වගේම රටට. ඒවා පැත්තක තිබුණ දෙන්. අපේ ඒවාට අපේ නීතිය. ඒ ඇරෙන්න ඊට පිට නීතියක් අපිට නෑ. අපි ඒක තමයි ගරු කරන්නේ. ඒක අනුව තමයි ජීවත් වෙන්නේ. නිදහසෙන් පස්සේ අවුරුදු 73ක් ලැබිලා තිබ්බ නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ ආවා කියලා වෙනස් කරන්න බෑ. අපේ නීතිය අපිට. නුවර නීතිය නුවර අයට, යාපනේ නීතිය යාපනේ අයට. පන්සල් පල්ලි කෝවිල් ඔක්කොටම නීති රීති ගෙනාවනේ. ඒවා වෙනස් කරන්න බෑනේ. වෙනස් කෙරුවයි කියා පොතෙන් වෙනස් කළා කියලා අපිව වෙනස් කරන්න පුලුවන්ද. බෑ.. අපේ ජීවන රටාව වෙනස් කරන්න පුලුවංද.. බෑ.. සල්ලි තියෙන මනුස්සයා 4ක් බැන්දා කියලා මෙයාලාට තියෙන ප්‍රශ්ණේ මොකක්ද. ඒකෙන් නැති බැරි අය ඇති හැකි අය වෙනවා. ඒක තමයි වෙන්නේ. ප්‍රේමදාස මහත්තයාගේ සංකල්පෙනේ ඒක” යැයි පැවසීය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මුසම්මිල් මහතා පවසා සිටින්නේ ප්‍රසිද්ධ හමුවක් පවත්වමින් මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත්ව ඇති බවයි.

මේ පිළිඹදව මොහමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.

“මෙහෙම කියනවා කියන්නේ ඉතා පැහැදිලිව දැඩි තර්ජනයක් එල්ල කරනවා මේ රටේ අනෙකුත් ජන කොටස්වලට හා ඔවුන්ගේ අන්තවාදී මතයන්වලට එරෙහිව නොයන අයට අප මුස්ලිම් නීතිය වෙනස් කළොත් තව සහරාන් කෙනෙක් එවනවා කියන පණිවිඩය තමයි වෙනත් ආකාරයකින් අසාද් සාලි කියන්නේ. වයස අවුරුදු 12ක දැරියක් විවාහ කර ගෙන තමන්ගේ දුවගේ දුවවත් විවාහ කර ගන්න පුළුවන් මානසිකත්වය තමයි අසාද් සාලි ඉන්නේ. මොන තරම් පහත් මානසිකත්වයකින්ද මේ කටයුතු කරන්නේ. ඒ නිසා පුද්ගලයා හෝ ජාති ආගම් මත නීති වෙනස්වීම ශිෂ්ඨ සම්පන්න ලෝකෙ පිළිගන්න දෙයක් නෙමෙයි. චාරිත්‍ර වාරිත්‍ර උප සංස්කෘතිවලට පවතින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ.

හැබැයි මේ නීති වෙනස් කළා කියලා අසාද් සාලිට ඌරු මස් කන්න කියලා කවුරුත් කියන්නේ නෑ. සිංහල, මුස්ලිම්, දෙමළ මිනිස්සුන්ව ඇඳුමින් වෙන් කළා. ඊට පස්සේ ආහාරවලින් වෙන් කළා හලාල් කියලා ගෙනල්ලා. අධ්‍යාපනයෙන්, උසාවියෙන් වෙන් කළා. ඒ කරලා අසාද් සාලිලාට තමන්ගේ පටු දේශපාලන වුවමනා ඉටු කර ගන්න සහරාන්ලාට තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමට තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ. රටේ නීතියට අභියෝග කරන අසාද් සාලිලාට විරුද්ධව අපි විශ්වාස කරනවා නීතිපතිතුමාත් පොලිස් දෙපාර්තමේන්තුවත් ක්‍රියාත්මක වෙයි කියලා.’’ යැයිද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *