අපහාසාත්මක සමාජ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට නියම කර තිබූ වසර පහක සිර දඬුවම මරණ දඬුවමක් දක්වා ඉහළ දමා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා දැඩි කනස්සල්ල පළ කර තිබේ.
එම තත්ත්වය සම්බන්ධයෙන් සෞදි අරාබි බලධාරීන්ගෙන් අනෝජන් සිවරාසාට සමාව ලබාදෙන ලෙස ඔහු ඉල්ලා ඇත.
අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ මරණ දඬුවමක් නියම කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් තහවුරු කර නොමැති බවත්, අදාළ නිල ලිඛිත තීන්දුව තවමත් ලැබී නොමැති බවත්ය.
“සෞදි අරාබියේ ස්වෛරීභාවයට සහ එරට නීති පද්ධතියට ගරු කිරීම යනු අසමානුපාතික දඬුවමක් හමුවේ නිහඬව සිටීම නොවේ,” යනුවෙන් ඔහු පවසා ඇත.
අපහාසාත්මක සමාජ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් වසර පහක සිර දඬුවමක් ලබාදීම පවා අධික බව පවසන අලි සබ්රි මහතා, එවැනි ක්‍රියාවක් සඳහා මරණ දඬුවමක් ලබාදීම “අතිශය අසමානුපාතික, අමානුෂික සහ පිළිගත නොහැකි” දඬුවමක් වනු ඇති බව සඳහන් කර තිබේ.
අනෝජන් එම ප්‍රකාශය මිනිත්තු කිහිපයක් ඇතුළත ඉවත් කර ඇති බවටත්, පසුව ප්‍රසිද්ධ වීඩියෝවක් මගින් සමාව ඉල්ලා ඇති බවටත් පළවන වාර්තා සම්බන්ධයෙන් බරපතළ ලෙස සලකා බැලිය යුතු බවද ඔහු පවසා ඇත.
“අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් පුද්ගලයෙකුට පසුතැවිලි වීමට, ඉගෙන ගැනීමට සහ නැවත තම ජීවිතය ගොඩනඟා ගැනීමට ඇති අවස්ථාව අහිමි නොකළ යුතුයි,” යනුවෙන් අලි සබ්රි මහතා සඳහන් කර තිබේ.
තම ඉස්ලාම් ආගමික විශ්වාසයන් ද සිහිපත් කරමින් ඔහු පවසා ඇත්තේ මිනිසුන්ගේ වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කරුණාව සහ දයාව වැදගත් වන බවයි.
“මුස්ලිම්වරයෙකු ලෙස මම අල්ලාහ්ගේ කරුණාව දැඩි ලෙස විශ්වාස කරනවා. අපි ඔහුව හඳුන්වන්නේ අතිශය කරුණාවන්ත සහ අතිශය දයාබර තැනැත්තා ලෙසයි. මිනිසුන්ගේ වැරදි සම්බන්ධයෙන් අපගේ ප්‍රතිචාරය ද එම වටිනාකම් මගින් මෙහෙයවිය යුතුයි,” යනුවෙන් ඔහු පවසා ඇත.
පුද්ගලයෙකුගේ ආගමික විශ්වාසය සහ අවංකභාවය පිළිබඳ අවසන් විනිශ්චය සර්වබලධාරී දෙවියන් වහන්සේ සතු බවද හිටපු විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
අනෝජන් සිවරාසා වෙනුවෙන් ඵලදායී නීතිමය සහාය ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඉහළම මට්ටමින් කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරන ලෙසත් ඔහු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
“සෞදි බලධාරීන්ගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කරුණාව දක්වා අනෝජන්ට සමාව ලබාදෙන ලෙසයි,” යනුවෙන් අලි සබ්රි මහතා පැවසීය.
“යුක්තිය තුළ කරුණාවට ඉඩක් තිබිය යුතුයි. අනෝජන්ට තම පවුල වෙත ආපසු ගොස් නැවත තම ජීවිතය ගොඩනඟා ගැනීමට අවස්ථාවක් ලැබිය යුතුයි.”
කෙසේ වෙතත්, අනෝජන් සිවරාසාට මරණ දඬුවමක් නියම කර ඇති බවට පළවන වාර්තා ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කර නොමැති අතර, ඒ සම්බන්ධ නිල ලිඛිත තීන්දුව ලැබෙන තෙක් එම කරුණ තවදුරටත් තහවුරු නොවූ තත්ත්වයක පවතී.


