අනෝජන්ට රාජකීය සමාවක් ඉල්ලා දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු සෞදි රජයෙන් ඉල්ලති

සෞදි අරාබියේදී මරණ දඬුවමට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයෙකු වන සිවරාසා අනෝජන්ට රාජකීය සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සෞදි අරාබියෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබේ.

සැප්තැම්බර් 24 වැනිදා දිනැතිව සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියක් මගින් මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ අනෝජන්ට එරෙහි දඬුවම වළක්වා ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනම් සහ මානුෂීය මැදිහත්වීමක් සිදුකරන ලෙසයි.

අනෝජන්ට මුලින් වසර පහක සිර දඬුවමක් සහ දඩයක් නියම කර තිබූ අතර, ඉහළ අධිකරණයක පැවති නඩු කටයුතු අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් දක්වා ඉහළ නංවා ඇති බව තමන්ට දැනගැනීමට ලැබුණු බව මන්ත්‍රීවරු සඳහන් කර තිබේ.

අනෝජන් අදාළ නඩුවට සම්බන්ධ ෆේස්බුක් සටහන වහාම ඉවත් කර මකා දැමූ බවත්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරුන්ගේ ලිපියේ සඳහන් වේ. ඔහු ඉස්ලාම් ආගමට අගෞරව කිරීමට හෝ එහි විශ්වාසයන්ට අපහාස කිරීමට කිසිදු අදහසක් නොතිබූ බවද ඔවුහු පෙන්වා දී තිබේ.

එමෙන්ම, අනෝජන්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් තහවුරු කළ නිල තොරතුරු පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ලබාදෙන ලෙසද මන්ත්‍රීවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. ඒ අතරට චෝදනාවට අදාළ වරදේ ස්වභාවය, මේ දක්වා ගෙන ඇති නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික පියවර මෙන්ම අනෝජන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

මානුෂීය කරුණු සැලකිල්ලට ගනිමින් අනෝජන්ට රාජකීය සමාවක් ලබාදෙන ලෙසද මන්ත්‍රීවරු සෞදි රජයෙන් ඉල්ලා ඇති අතර, එහිදී ඉවසීම සහ සංවේදීභාවය යන වටිනාකම් පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

මේ අතර, අනෝජන්ට සමාවක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීම් සිදුකරමින් සිටිති. ශ්‍රී ලංකා රජය නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ සහනයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *