අනක් ක්‍රකටෝවා ගිනිකන්දේ අළු වලාකුළු හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

ඉන්දුනීසියාවේ අනක් ක්‍රකටෝවා (Anak Krakatoa) ගිනිකන්දෙන් නිකුත් වූ ගිනිකඳු අළු වලාකුළු හේතුවෙන් කොළඹ සහ ජකර්තා අතර අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් දෙකක් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

ඒ අනුව, කොළඹ සිට ජකර්තා බලා පියාසර කිරීමට නියමිතව තිබූ UL 364 ගුවන් ගමන සහ ජකර්තා සිට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ UL 365 ගුවන් ගමන මෙලෙස අවලංගු කර ඇත.

ගිනිකඳු අළු සහ සිලිකා අඩංගු පාෂාණ කැබලි විශාල ප්‍රදේශයක් පුරා පැතිරීම හේතුවෙන් ගුවන් යානා එන්ජින් සහ පාලන පද්ධතිවලට ඇතිවිය හැකි අවදානම සැලකිල්ලට ගනිමින් ඉන්දුනීසියානු ගුවන් සේවා බලධාරීන් ජකර්තාහි සෝකාර්නෝ-හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ගුවන් තොටුපළ කිහිපයක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව දෙසට දිවෙන බටහිර ගුවන් ගමන් මාර්ගය හරහා ගුවන් යානා පියාසර කිරීමද බලධාරීන් විසින් තහනම් කර තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේද ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් සිඩ්නි සහ මෙල්බර්න් නුවර සිට පැමිණි ගුවන් යානා දෙකක් බලපෑමට ලක්වූ ගුවන් අවකාශය මඟහැරීම සඳහා වෙනත් ගුවන් මාර්ග ඔස්සේ හරවා යැවීමට සිදුව තිබිණි.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන මැද පෙරදිග ගුවන් සේවා කිහිපයක්ද මෙම තත්ත්වය හේතුවෙන් සිය ගුවන් මාර්ග වෙනස් කර තිබේ.

ගිනිකඳු පිපිරීම හේතුවෙන් ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ කිහිපයක මෙහෙයුම් තාවකාලිකව නවතා ඇති අතර, කලාපය පුරා ජාත්‍යන්තර ගුවන් ගමන්වලටද පුළුල් බාධා එල්ල වී ඇති බව බලධාරීහු තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *