“එක් පද්ධතියක කම්පනයක් අනෙක් පද්ධතිවලටත් වේගයෙන් පැතිරිය හැකියි” සජිත්ගෙන් ජාතික ඔරොත්තු දීමේ වැඩපිළිවෙළක්

ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රකෘතිය, දේශගුණික අවදානම් සඳහා සූදානම සහ සමාජ ආරක්ෂණය එකිනෙක ඒකාබද්ධ කළ ජාතික ඔරොත්තු දීමේ රාමුවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.

එක් පද්ධතියකට එල්ල වන කම්පනයක් ඉතා ඉක්මනින් අනෙකුත් පද්ධති වෙතද පැතිර යා හැකි බැවින්, රටේ ඔරොත්තු දීමේ හැකියාව වෙන වෙනම ප්‍රතිපත්ති ක්ෂේත්‍ර ලෙස නොව, රාජ්‍ය පාලනය, ආයතන සහ සමස්ත සමාජය පුරාම ගොඩනැගිය යුතු බව ඔහු පෙන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් මහතා සමඟ පැවති හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණවලට පමණක් සීමා නොවිය යුතු බවත්, නීතියේ ආධිපත්‍යය, බලතල බෙදීම, ස්වාධීන ආයතන, පාර්ලිමේන්තු වගවීම, විනිවිදභාවය, මූලික අයිතිවාසිකම් සහ මහජන සහභාගීත්වය තුළින් එය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.

දේශපාලන බලය දරන්නේ කුමන පාර්ශ්වයක් වුවද ස්වාධීන ආයතන ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු බව ඔහු අවධාරණය කර තිබේ. එමෙන්ම, ව්‍යවස්ථා සංශෝධන මඟින් දිගුකාලීන ආරක්ෂණ ක්‍රමවේද සහ බලතල අතර සමතුලිතතාව ශක්තිමත් කළ යුතු බවද ඔහු පවසා ඇත.

එල් නිනෝ සහ ලා නිනා දේශගුණික සංසිද්ධි හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳවද අවධානය යොමු කළ සජිත් ප්‍රේමදාස මහතා, ආපදා සිදුවීමෙන් පසු ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයකින් ඉවත් වී දේශගුණික පුරෝකථන මත පදනම් වූ පූර්ව සූදානම් ක්‍රමවේදයකට රට යොමු විය යුතු බව ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා පූර්ව සූදානම් කිරීම්, පූර්ව ක්‍රියාමාර්ග සහ පූර්ව මූල්‍ය වෙන්කිරීම් සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.

එල් නිනෝ සහ ලා නිනා යනු හුදෙක් කාලගුණික සංසිද්ධි නොවන බවත්, ඒවා කෘෂිකර්මාන්තය, ජල සුරක්ෂිතතාව, ආහාර මිල, ජනතාවගේ ජීවනෝපාය, බලශක්තිය, සෞඛ්‍යය, දරිද්‍රතාව සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඇතුළු පුළුල් ආර්ථික හා සමාජ අවදානම් ඇති කළ හැකි බවත් විපක්ෂ නායකවරයා අනතුරු අඟවා ඇත.

එක්සත් ජාතීන්ගේ ආයතන, ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන, විශේෂඥ ආයතන, විශ්වවිද්‍යාල, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය ඒකාබද්ධ කරමින් දේශගුණික පූර්ව අනතුරු ඇඟවීම් සහ පූර්ව ක්‍රියාමාර්ග සඳහා ජාතික වැඩසටහනක් ස්ථාපිත කළ යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබේ.

දේශගුණික අවදානම් ජාතික ආර්ථික හා මූල්‍ය සැලසුම්වලටද අන්තර්ගත කළ යුතු බව ඔහු අවධාරණය කර ඇත.

ආර්ථික ප්‍රකෘතිය මැනිය යුත්තේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත පමණක් නොවන බව පවසන විපක්ෂ නායකවරයා, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව, රැකියා අවස්ථා, සැබෑ වැටුප්, ප්‍රාදේශීය සමානාත්මතාව, තරුණ අවස්ථා, කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය, ග්‍රාමීය ජීවනෝපාය සහ රාජ්‍ය සේවාවල ගුණාත්මකභාවයද ඒ සඳහා සැලකිල්ලට ගත යුතු බව සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාව ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව වඩා පුළුල්ව සිතිය යුතුයි. ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදී, දේශගුණික සහ සමාජ ඔරොත්තු දීමේ හැකියාව වෙන වෙනම ප්‍රතිපත්ති ක්ෂේත්‍ර ලෙස සැලකිය නොහැකියි. එක් පද්ධතියක ඇතිවන කම්පනයක් ඉතා ඉක්මනින් අනෙක් පද්ධති වෙතද පැතිර යා හැකියි” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සමස්ත රාජ්‍යය සහ සමාජයම සම්බන්ධ කරගන්නා, ශක්තිමත් ආයතන ගොඩනගන, සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් සහතික කරන සහ දේශගුණික හා ආපදා අවදානම් සඳහා සැබෑ පූර්ව ක්‍රියාමාර්ග මත පදනම් වූ ක්‍රමවේද ස්ථාපිත කරන ඔරොත්තු දීමේ ප්‍රවේශයක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *