අගෝස්තුවේ සිට විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපළ විවෘත කිරීමට කොවිඩ් මර්ධන කමිටුව ජනපතිට යෝජනා කරයි

රට ක්‍රමක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙන නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශීය සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී “බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම්” පිළිඹද සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය.

සංචාරකයන් සඳහා නැවතත් රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන් අතර, ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බව ද අවධාරණය කළේය.

එමෙන්ම සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී එම සංචාරකයන්ගේ රුචිකත්වය අධ්‍යයනය කර ඒ අනුව සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත් මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *