නිදහස් සෞඛ්‍ය සේවයට සෘජුව දායක වන ‘ආයුබෝ’ ලොතරැයිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා සෘජුවම දායක වන නව දිනපතා ලොතරැයියක් හඳුන්වා දී තිබේ.

‘ආයුබෝ’ නමින් හඳුන්වා දී ඇති මෙම ලොතරැයිය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල (NHDF), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ලොතරැයි මණ්ඩලය එක්ව හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ලොතරැයියෙන් උපයන මුදල් සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට, නවීන වෛද්‍ය උපකරණ සහ තාක්ෂණය ලබාගැනීමට මෙන්ම සෞඛ්‍ය හදිසි තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා යොදාගැනීමට නියමිත බවයි.

‘ආයුබෝ’ ලොතරැයියේ පළමු දිනුම් ඇදීම විශේෂ දිනුම් ඇදීමක් ලෙස 2026 ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට නියමිතය.

ලොතරැයි පතක් මිලදී ගැනීමෙන් දිනුම් ඇදීමකට සහභාගි වීමට අවස්ථාව ලැබෙනවා පමණක් නොව, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සෘජුවම දායක වීමටද ජනතාවට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ලොතරැයිය හඳුන්වාදීමේ අවස්ථාවේදී රෝගීන් නිරීක්ෂණය සඳහා භාවිත කරන Patient Monitor යන්ත්‍රයක් සංකේතාත්මකව පරිත්‍යාග කිරීමද සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ සභාපති වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී. සිරිල් ඇන්තනී පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *