2027දී චීන-ශ්‍රී ලංකා සබඳතාවලට ඓතිහාසික සංධිස්ථාන දෙකක්: රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක්, රබර්-සහල් ගිවිසුමට වසර 75ක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සම්පූර්ණ වීමත්, ඓතිහාසික රබර්-සහල් ගිවිසුම අත්සන් කර වසර 75ක් සම්පූර්ණ වීමත් ලබන 2027 වසරේදී සැමරීමට නියමිත අතර, ශ්‍රී ලංකාව සමඟ පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියෑන්ග් මහතා පවසයි.

චීන තානාපතිවරයා සඳහන් කළේ දෙරටේ නායකයන් අතර ඇති කරගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින්, අන්‍යෝන්‍ය සහයෝගය සහ දිගුකාලීන මිත්‍රත්වය මත පදනම් වූ උපායමාර්ගික සහයෝගී හවුල්කාරිත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බවයි.

තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 77ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පෙරේදා (23) කොළඹදී පැවති උත්සවයකදීය.

දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් වෙයි හුවාෂියෑන්ග් මහතා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඇතුළු චීන සහාය ලබන ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව සඳහන් කළේය. තීරය සහ මාර්ග වැඩසටහන යටතේ දෙරට අතර සහයෝගීතාවයෙන් ප්‍රායෝගික ප්‍රතිඵල රැසක් අත්කරගෙන ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනතාවට සෘජුව බලපාන ක්ෂේත්‍ර සඳහා චීනය ලබාදෙන සහායද ඔහු අවධාරණය කළ අතර, චීන-ශ්‍රී ලංකා ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා නිරූපණ මධ්‍යස්ථානය ඒ අතරින් විශේෂයෙන් සඳහන් කළේය.

අඛණ්ඩව වසර හතරක් පුරා චීනය ශ්‍රී ලංකාවට පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදිපිළි පරිත්‍යාග කර ඇති බවත්, එමඟින් දිවයින පුරා සිසුන් මිලියන 4.4කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබී ඇති බවත් තානාපතිවරයා පැවසීය.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ ආපදා වැළැක්වීම හා බලපෑම් අවම කිරීම සඳහා සහාය වීමට චීනයේ බුද්ධිමත් කාලගුණික පූර්ව අනතුරු ඇඟවීමේ විසඳුමක් වන “Mazu” ශ්‍රී ලංකාවේ යෙදවීමට නියමිත බවද ඔහු නිවේදනය කළේය.

දෙරට අතර ඓතිහාසික සබඳතා සිහිපත් කරමින් තානාපතිවරයා වසර 70කට වැඩි කාලයකට පෙර අත්සන් කළ රබර්-සහල් ගිවිසුම පිළිබඳවද සඳහන් කළේය. දුෂ්කර අවස්ථාවලදී චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති සහයෝගීතාව සහ එකිනෙකාට සහාය වීම එම ගිවිසුමෙන් පිළිබිඹු වන බව ඔහු පැවසීය.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කළ දින සිට චීනය සහ ශ්‍රී ලංකාව අඛණ්ඩව එකිනෙකාට ගරු කරමින් සහයෝගය ලබා දී ඇති බවත්, තීරය සහ මාර්ග වැඩසටහන යටතේ සිදුකරන සහයෝගීතා වැඩසටහන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල හුවමාරු කටයුතු දෙරටටම ප්‍රතිලාභ ගෙන දී ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය.

මෑත වසරවලදී දෙරට එකිනෙකාට ලබාදුන් සහාය පිළිබඳවද ඔහු සිහිපත් කළේය. 2023 වසරේදී චීන ගැඹුරු මුහුදු ධීවර යාත්‍රාවක් වූ “Lupeng Yuanyu 028” සොයා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහභාගී වූ බව ඔහු පැවසීය. එමෙන්ම මේ වසරේ මාර්තු මාසයේදී චීන පර්යේෂණ නෞකාවක් වූ “Shiyan 6” හි හදිසියේ රෝගාතුර වූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ශ්‍රී ලංකාව හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගතය පැවති සමයේදී සහ ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට චීනය ලබාදුන් හදිසි සහායද දෙරට දුෂ්කර අවස්ථාවලදී එකිනෙකා සමඟ සිටින බවට උදාහරණ ලෙස තානාපතිවරයා පෙන්වා දුන්නේය.

බහුපාර්ශ්විකත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බවද ඔහු පැවසීය. නොබැඳි ව්‍යාපාරයේ වැදගත් ආරම්භක සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමි ස්ථානයද ඔහු අවධාරණය කළේය.

චීන ආර්ථිකය පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා පැවසුවේ චීනය මේ වන විට ලොව විශාලතම නිෂ්පාදන ආර්ථිකය සහ ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බවයි. එරට දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 20ක් පමණ ඉක්මවා ඇති බවත්, 2026 වසරේ පළමු භාගයේදී චීන ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කළ බවත් ඔහු සඳහන් කළේය.

චීන තානාපති වෙයි හුවාෂියෑන්ග් මහතාගේ සම්පූර්ණ කතාව

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 77ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති උත්සවයේදී චීන තානාපති වෙයි හුවාෂියෑන්ග් මහතා කළ කතාව

සැප්තැම්බර් 23 බදාදා, පස්වරු 7.00, ෂැංග්‍රි-ලා හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම්

ගරු අනුර කරුණාතිලක මහතා,

ගරු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්,

ගරු ආරාධිත අමුත්තන්, නෝනාවරුනි, මහත්වරුනි, මිත්‍රවරුනි,

සුබ සන්ධ්‍යාවක්! ආයුබෝවන්! වණක්කම්! අස්සලාමු අලෙයිකුම්!

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 77ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා ඔබ සියලු දෙනා සමඟ මෙලෙස එක්වීමට ලැබීම මහත් සතුටකි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන් සියලු ගරු ආරාධිත අමුත්තන් සාදරයෙන් පිළිගන්නා අතර, චීනය සහ චීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව දිගු කලක් අවධානය යොමු කරමින් සහාය ලබාදෙන සියලු ක්ෂේත්‍රවල මිතුරන්ට හෘදයාංගම ස්තූතිය පළ කරමි. එමෙන්ම චීනයේ සහ ශ්‍රී ලංකාවේ සිටින අපගේ සහෝදර ජනතාවට උත්සව සුබ පැතුම් පිරිනමමි.

ශ්‍රී ලංකාවේ 23 වැනි චීන තානාපතිවරයා ලෙස ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් මා පත් කිරීම පිළිබඳව මම මහත් ගෞරවයට පත්වෙමි. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මම ශ්‍රී ලංකාවේ නායකයන් සහ අමාත්‍යවරුන් හමුවී තිබෙනවා. දේශපාලන පක්ෂ නායකයන් සමඟ අවංක හා ගැඹුරු අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. එමෙන්ම රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විවිධ ක්ෂේත්‍රවල ජනතාව සමඟ කතාබහ කරමින්, චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව ඔවුන්ගේ අවංක අපේක්ෂාවන්ට සවන් දී තිබෙනවා.

කොළඹ පැරණි පොත් වෙළෙඳපොළේදී මම පැරණි පොත් සොයමින් 1953 වසරේ ප්‍රකාශයට පත් කළ The Story of the Rubber-Rice Pact නම් කෘතියේ පිටපතක් මිලදී ගත්තා. අද සන්ධ්‍යාවේ අප සමඟ එක්වීමට මා ආරාධනා කළ මගේ පොත් වෙළෙන්දා මිතුරාට ඒ පිළිබඳව ස්තූතිවන්ත වෙනවා.

ගාල්ල ධීවර වරායේදී වීදි ගායකයෙකු සමඟ මිත්‍රත්වය පිළිබඳ ගීතයක් ගායනා කිරීමටද මට අවස්ථාව ලැබුණා. ඔහුටද අද සන්ධ්‍යාවේ අප සමඟ එක්වීමට මා ආරාධනා කර තිබෙනවා.

මාසයකට මඳක් වැඩි කාලයක් තුළදී ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන මේ රටේ මනස්කාන්ත සුන්දරත්වය, විශිෂ්ට ශිෂ්ටාචාරය සහ උණුසුම් හදවත් ඇති ජනතාව අත්විඳීමට මට අවස්ථාව ලැබුණා.

චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය කාලයත් සමඟ තවදුරටත් ශක්තිමත් වෙමින්, අභියෝග හමුවේ වඩාත් ශක්තිමත් වී, කාලය ගතවන විට වඩාත් ගැඹුරු වී ඇති බවද මට හැඟුණා. ඉදිරියේදී අපට පැවරෙන මෙහෙවර ගෞරවනීය වන අතර වගකීමද විශාලයි. චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින් එය තවදුරටත් වර්ධනය කිරීමට සියලු මිතුරන් සමඟ එක්ව කටයුතු කිරීමට මම සූදානම්.

සමෘද්ධිමත් චීනයක්

මෙම වසර චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 77ක් සහ චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 105ක් සම්පූර්ණ වන වසරයි.

චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව එක්සත් කරමින් ඔවුන්ට නායකත්වය ලබාදෙමින් අධිෂ්ඨානයෙන් සහ නොපසුබට උත්සාහයෙන් ඉදිරියට ගමන් කළ එහි අතිවිශිෂ්ට ගමන තුළ ලොව පුරා අවධානයට ලක්වන සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබෙනවා.

යුද්ධයෙන් සහ දරිද්‍රතාවයෙන් විනාශ වූ රටක් යළි ගොඩනැගීමේ සිට නව ජීවයක් සහ ප්‍රබෝධයක් සහිත රටක් නිර්මාණය කිරීම දක්වා චීනය ගැඹුරු පරිවර්තනයකට ලක්ව තිබෙනවා.

අද චීන ජනතාව චීන නවීකරණය ඔස්සේ ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සෑම අංශයකින්ම ඉදිරියට ගෙන යාමේ කටයුතුවල නිරතව සිටින අතර, තමන්ගේම සංවර්ධනය හරහා ලෝකයට වැඩි අවස්ථා නිර්මාණය කරමින් සිටිනවා.

අද චීනය ලොව විශාලතම නිෂ්පාදන රට බවටත්, ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවටත් පත්ව තිබෙනවා. එහි දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 20ක් පමණ ඉක්මවා තිබෙනවා.

මෙම වසර 15 වැනි පස් අවුරුදු සැලැස්මේ ආරම්භය සනිටුහන් කරන වසරයි. වසරේ පළමු භාගයේදී චීන ආර්ථිකය ඉදිරියට ගමන් කරමින් සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. එය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 530කට සමානයි.

කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ නවෝත්පාදන රැසක් ඉදිරියෙන් සිටීම සඳහා තරග කරමින් සිටිනවා. 2026 මැයි මාසයේදී හුවාවෙයි සමාගම විසින් අර්ධ සන්නායක සහ ඉලෙක්ට්‍රොනික පද්ධතිවල පරිණාමය සඳහා නව මාර්ගෝපදේශක මූලධර්මයක් ලෙස ඉදිරිපත් කළ “Tau (τ) Scaling Law” නව පෙරළියක් ලෙස මතුව තිබෙනවා.

චීනයේ අභ්‍යවකාශ වැඩසටහන මුහුදු මත සහ ගොඩබිම මත රොකට් යළි ගොඩබැස්වීමේ හැකියාව අත්කරගෙන තිබෙන අතර, එය චීනයේ අභ්‍යවකාශ ගවේෂණයේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කරනවා. නවෝත්පාදන ජයග්‍රහණ සංවර්ධනය බලගන්වමින් ලෝකයට ප්‍රතිලාභ ගෙන දෙමින් තිබෙනවා.

“ලෝකය සමඟ පොදු ප්‍රතිලාභ සෙවීම” යන මූලධර්මයට චීනය අඛණ්ඩව කැපවී සිටිනවා. වසර 600කට වැඩි කාලයකට පෙර ෂෙන් හේගේ මුහුදු ගමන්වල සිට අද සාගර සහ මහාද්වීප සම්බන්ධ කරන තීරය සහ මාර්ග වැඩසටහන දක්වාත්, උපායමාර්ගික සැලසුම්වල පුළුල් දැක්මේ සිට ඒවා ඉතා සූක්ෂමව ක්‍රියාත්මක කිරීම දක්වාත් චීන-ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් සාර්ථක ප්‍රතිඵල රැසක් ලැබී තිබෙනවා.

කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ප්‍රමුඛ ව්‍යාපෘති වෙරළ තීරය ආශ්‍රිතව ඉදිරියට යමින් පවතින අතර, චීන ව්‍යාපාරික ආයතන අභියෝග ජය ගනිමින් දෙරට අතර ප්‍රායෝගික සහයෝගීතාවට දායක වෙමින් සිටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදී චීනයක්

චීනය සෑම අදියරකදීම ජනතාවගේ සහභාගීත්වය සහතික කරන ජනතා ප්‍රජාතන්ත්‍රවාදය ගවේෂණය කරමින්, එය ස්ථාපිත කර අඛණ්ඩව සංවර්ධනය කර තිබෙනවා.

සම්පූර්ණ ආයතනික ක්‍රියාපටිපාටි සහ පුළුල් මහජන සහභාගීත්වය ඔස්සේ ජනතාවට රට පාලනය කිරීමේ හැකියාව එම ක්‍රමය මඟින් සහතික කරන බව චීනය පවසනවා. එය පුළුල්ම, සැබෑම සහ වඩාත් ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයක් වන අතර, “ජනතාවගේ හඬට සවන් දීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම” යන මූලධර්මය එමඟින් නිරූපණය වන බවද ඔහු සඳහන් කළේය.

ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් සියලු ජනවර්ග සහ විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන බවද ඔහු පැවසීය. වීදි සහ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ හඬ ජාතික පාලනයේ ඉහළම මට්ටම් වෙත ළඟා විය හැකි බවද ඔහු සඳහන් කළේය.

මෙම ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය චීන පාලනයට ජීවයක් ලබාදී ඇති අතර, මානව වර්ගයා සඳහා නව දේශපාලන ශිෂ්ටාචාර ආකාරයක් නිර්මාණය කර ඇති බව චීන පාර්ශ්වය පවසනවා.

චීනයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ආයතන අතර සමීප හුවමාරු පවතින අතර, නියෝජිත කණ්ඩායම්වල අන්‍යෝන්‍ය සංචාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හුවමාරු සහ වෙනත් ආකාර ඔස්සේ නීති සම්පාදනය, අධීක්ෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ඉගෙනීම සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බවද ඔහු පැවසීය.

ශිෂ්ටසම්පන්න චීනයක්

වසර 5,000ක් පුරා පැවත එන සංස්කෘතික උරුමය චීනය ඉදිරියට ගෙන යන අතර නව යුගයේ නව පරිච්ඡේද ලියමින් සිටිනවා.

සාම්ප්‍රදායික චීන සෞන්දර්යය සහ සංස්කෘතිය ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින අතර, චීන පුරාවෘත්තවල සුවිශේෂී චරිත දෙකක් වන වුකොං සහ නේෂා ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙනවා.

“China Travel” සංචාරක රැල්ල ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, “චීන ජාතිකයෙකු බවට පත්වීම” යන අදහසද සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි ජනප්‍රියත්වයක් ලබමින් සිටිනවා.

සංස්කෘතික හුවමාරු චීන-ශ්‍රී ලංකා සබඳතාවල වැදගත් කුලුනක්. බෞද්ධ ධර්මය සෙවීම සහ එය ප්‍රචාරය කිරීම සඳහා ෆාෂියෑන් භික්ෂුව කළ ගමනත්, බෞද්ධ දහම දේශනා කිරීම සඳහා තිස්සාර භික්ෂුව නැගෙනහිර දෙසට කළ ගමනත් දෙරටේ හවුල් ඉතිහාසයේ සදාකාලික පරිච්ඡේද බවට පත්ව තිබෙනවා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර වසර දහස් ගණනක් පැරණි බෞද්ධ බැඳීම දෙරටේ ජනතාවගේ හදවත් තුළ ගැඹුරින් මුල් බැස තිබෙනවා.

අද චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොන්ෆියුසියස් ආයතන චීන සංස්කෘතිය ප්‍රවර්ධනය කරමින් චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ කතාන්දර ඉදිරිපත් කරනවා.

“Happy Chinese New Year” ප්‍රසංග, විදේශීය සිසුන් සඳහා පැවැත්වෙන “Chinese Bridge” චීන භාෂා ප්‍රවීණතා තරගය, “Tea for Harmony” Yaji Salon සහ Dragon Boat Culture Festival වැනි සංස්කෘතික වැඩසටහන් ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් පිළිගැනීමට ලක්ව තිබෙනවා. ඒවා දෙරටේ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය පොහොසත්කම ප්‍රවර්ධනය කරමින් දෙරටේ ජනතාව තවදුරටත් සමීප කර තිබෙනවා.

සතුටින් පිරි චීනයක්

ජනතාවට ප්‍රමුඛත්වය ලබාදීම සහ සෑම පවුලක්ම රැකබලා ගැනීම සහතික කිරීම සඳහා චීනය සිය ගැඹුරු කැපවීම පෙන්නුම් කරනවා.

චීනය ලොව විශාලතම අධ්‍යාපන පද්ධතිය, සමාජ ආරක්ෂණ පද්ධතිය සහ සෞඛ්‍ය පද්ධතිය ස්ථාපිත කර ඇති අතර, මිලියන ගණනක් පවුල් සඳහා සහාය ලබාදෙනවා.

නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා චීනය ගෙන ගිය ඓතිහාසික සටන ඉතිහාසයට එක්ව තිබෙනවා. සෑම අංශයකින්ම මධ්‍යස්ථ සමෘද්ධියක් සහිත සමාජයක් ගොඩනගා ජනතාව අතර බෙදාහදාගෙන ඇති බවත්, එමඟින් ජනතාව තුළ ශක්තිමත් සහ ස්ථාවර සතුටක් ඇති කරමින් සෑම පවුලකටම උණුසුම් හා ජීවයෙන් පිරි පරිසරයක් නිර්මාණය කර ඇති බවත් ඔහු පැවසීය.

ජනතාවට ප්‍රමුඛත්වය ලබාදීම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ උණුසුම්ම මූලික තේමාව බවද තානාපතිවරයා සඳහන් කළේය.

චීන-ශ්‍රී ලංකා ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා නිරූපණ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාවේ තවත් ජනතාවකට ආරක්ෂිත සහ පිරිසිදු පානීය ජලය භුක්ති විඳීමට හැකියාව ලබාදෙනවා.

අඛණ්ඩව වසර හතරක් පුරා චීනය පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදිපිළි ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අතර, එමඟින් දිවයින පුරා සිසුන් මිලියන 4.4කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබී තිබෙනවා.

ජන ජීවිත නගාසිටුවීම සඳහා ලබාදෙන සහාය හරහා චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ජනතාවට දැකිය හැකි, අත්විඳිය හැකි සහ ගැඹුරින් දැනිය හැකි දෙයක් බවට පත්ව තිබෙනවා.

සුන්දර චීනයක්

“පැහැදිලි ජලය සහ සශ්‍රීක කඳුකරය මිල කළ නොහැකි සම්පත්” යන මූලධර්මයට චීනය දැඩිව කැපවී සිටින අතර, මිනිසා සහ ස්වභාවධර්මය අතර සමගිය ඇති කිරීමට උත්සාහ කරනවා.

චීනය ලොව විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති පද්ධතිය ගොඩනගා තිබෙනවා. එරට සමස්ත ස්ථාපිත විදුලි උත්පාදන ධාරිතාව කිලෝවොට් බිලියන 4කට වැඩි වන අතර එය ලොව පළමු ස්ථානයේ පවතිනවා. සමස්ත ස්ථාපිත ධාරිතාවෙන් සියයට 61ක් පුනර්ජනනීය බලශක්තිය බවද ඔහු පැවසීය.

සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ බලශක්ති ගබඩා කිරීමේ ක්ෂේත්‍රවල දියුණු තාක්ෂණයන් බොහෝ රටවල බලශක්ති පරිවර්තන සිහින යථාර්ථයක් බවට පත් කිරීමට උපකාරී වෙමින් තිබෙනවා.

“Made in China” නිෂ්පාදන ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙම වසරේ පළමු භාගයේදී නව බලශක්ති වාහන මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් විදේශ වෙළෙඳපොළ වෙත අපනයනය කර තිබෙනවා. BYD වැනි විදුලි වාහන සන්නාම ක්‍රමයෙන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වෙමින් තිබෙනවා.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ ආපදා වැළැක්වීම හා බලපෑම් අවම කිරීම සඳහා සහාය වීමට චීනයේ “Mazu” බුද්ධිමත් කාලගුණික පූර්ව අනතුරු ඇඟවීමේ විසඳුම ශ්‍රී ලංකාවේ යෙදවීමට නියමිත බවද ඔහු පැවසීය.

සාමකාමී චීනයක්

චීනය ධෛර්යයෙන් යුතුව සිය වගකීම් ඉටු කරන අතර නිවැරදි මාවතට ස්ථිරව කැපවී සිටිනවා.

මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්ම ජනාධිපති ෂී ජින්පින් මහතා ඉදිරිපත් කර තිබෙන අතර, ගෝලීය සංවර්ධන වැඩසටහන, ගෝලීය ආරක්ෂක වැඩසටහන, ගෝලීය ශිෂ්ටාචාර වැඩසටහන සහ ගෝලීය පාලන වැඩසටහන යන ප්‍රධාන වැඩසටහන් හතරද ඉදිරිපත් කර තිබෙනවා.

ඒවා අපේ යුගයේ මූලික ප්‍රශ්නයක් වන “මානව වර්ගයා ගමන් කරන්නේ කොතැනටද?” යන්නට පිළිතුරු සෙවීමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.

රාජ්‍ය නායක මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සක්‍රීයව සහ ප්‍රතිඵලදායකව සිදුවෙමින් තිබෙනවා. ජනාධිපති ෂී ජින්පින් මහතා SCO සමුළුවට සහභාගී වීම සඳහා කිර්ගිස්තානයටත්, BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවටත් සංචාරය කර තිබෙනවා. එමෙන්ම ඔහු එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයක නිරත වෙමින් සිටින අතර, ෂෙන්සෙන්හි පැවැත්වීමට නියමිත APEC ආර්ථික නායකයන්ගේ සමුළුව ඇතුළු ප්‍රධාන වැඩසටහන් සඳහාද සහභාගී වීමට නියමිතයි.

මෙම කටයුතු ලෝකයට වටිනා ස්ථාවරත්වයක් ලබාදෙන බව චීන තානාපතිවරයා පැවසීය.

2026 ජූලි මාසයේදී ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගීතා සංවිධානය ෂැංහයිහිදී ස්ථාපිත කර තිබෙනවා. ජාත්‍යන්තර විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව සහ ගෝලීය පාලනය සඳහා චීනයේ යෝජනා දැනුම සහ ශක්තිය ලබාදෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නොබැඳි ව්‍යාපාරයේ වැදගත් ආරම්භක සාමාජික රටක්. 1976 වසරේ ශ්‍රී ලංකාවේදී පැවති නොබැඳි රටවල රාජ්‍ය නායකයන් හෝ රජයේ ප්‍රධානීන්ගේ පස්වැනි සමුළුව ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේද වැදගත් සංධිස්ථානයක්.

සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව තානාපතිවරයා පැවසීය.

චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය

චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගු ඉතිහාසයක් සහිත සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින අතර එය කාලයත් සමඟ තවදුරටත් ශක්තිමත් වෙමින් තිබෙනවා.

වසර දෙදහසකට පෙර පැවති පුරාණ “සේද මාවත” දෙරට අතර මිත්‍රශීලී හුවමාරුවල විශිෂ්ට පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නෞකා එහා මෙහා ගමන් කළ මාවතක් බවට පත්ව තිබුණා.

වසර 70කට වැඩි කාලයකට පෙර චීනය සහ ශ්‍රී ලංකාව බාහිර පීඩන නොතකා බාධක ජයගනිමින් ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට අත්සන් තැබුවා. අභියෝගාත්මක අවස්ථාවලදී දෙරට අතර පැවති සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය එම ගිවිසුමෙන් පිළිබිඹු වෙනවා.

ලෝක යුද්ධ දෙකක වේදනාකාරී අත්දැකීම් තුළින් මානව වර්ගයා උරුම කරගත් වටිනා උරුමයක් වන්නේ බහුපාර්ශ්විකත්වයයි. රබර්-සහල් ගිවිසුමේ ආත්මයද චීනය සහ ශ්‍රී ලංකාව සතු වටිනා ඓතිහාසික උරුමයක් වන අතර, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව සිටීමටත් අවංකව එකිනෙකාට සහාය වීමටත් එමඟින් දෙරටට හැකියාව ලැබී තිබෙනවා.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කළ දින සිට චීනය සහ ශ්‍රී ලංකාව අඛණ්ඩව එකිනෙකාට ගරු කරමින්, සමාන ලෙස සලකමින් සහ එකිනෙකා සමඟ සිට තිබෙනවා.

උසස් තත්ත්වයේ තීරය සහ මාර්ග සහයෝගීතාව සහ විවිධ ක්ෂේත්‍රවල හුවමාරු මඟින් සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කරගෙන ඇති අතර, ඒවා දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දී තිබෙනවා.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද චීනය සහ ශ්‍රී ලංකාව සැබෑ මිතුරන් සහ හොඳ හවුල්කරුවන් ලෙස අඛණ්ඩව කටයුතු කරන අතර, දුෂ්කර අවස්ථාවලදී එකිනෙකා සමඟ සිටිමින් එකිනෙකා කෙරෙහි විශ්වාසය තබන බව තානාපතිවරයා පැවසීය.

2023 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව දහස් ගණනක් සැතපුම් ගමන් කරමින් ගැඹුරු මුහුදු ධීවර යාත්‍රාවක් වූ “Lupeng Yuanyu 028” සොයා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමට සහාය ලබාදුන්නා. එය තමා උපන් ප්‍රදේශයට අයත් ධීවර යාත්‍රාවක් බවද ඔහු සඳහන් කළේය.

මෙම වසරේ මාර්තු මාසයේදී චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වූ “Shiyan 6” හි හදිසියේ රෝගාතුර වූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ශ්‍රී ලංකාව හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා.

කොවිඩ්-19 වසංගතය පැවති සමයේදී සහ ඩිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ශ්‍රී ලංකාවට හදිසි සහාය ලබාදුන්නා.

මෙවැනි සියලු සිදුවීම් දෙරට දුෂ්කර අවස්ථාවලදී එකිනෙකා සමඟ සිටින බවට පැහැදිලි උදාහරණ බව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලාංකික මිතුරන්ට ඒ වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පළ කරන බවත් අවංකවම ඔබගෙන් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

ලබන වසරේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සහ රබර්-සහල් ගිවිසුම අත්සන් කර වසර 75ක් සම්පූර්ණ වීම සැමරීමට නියමිතයි.

නව යුගයේ චීන-ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙන යාමේදී අපගේ සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යන අතරම නව මාවත් විවෘත කළ යුතුයි. මූලික මූලධර්ම ආරක්ෂා කරමින් නවෝත්පාදනයන් සිදුකළ යුතුයි.

රබර්-සහල් ගිවිසුම තුළින් පිළිබිඹු වූ ස්වාධීනත්වය, ස්වයංපෝෂිතභාවය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය යන ආත්මය තවදුරටත් ඉදිරියට ගෙන යාමට චීනය ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම්.

එමෙන්ම “අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණත්වය සහ යුක්තිය” යන මූලධර්ම ආරක්ෂා කරමින් බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කටයුතු කර අභියෝග එක්ව ජය ගැනීමටත්, දෙරටේ නායකයන් අතර ඇති කරගත් වැදගත් පොදු එකඟතාවන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමටත් චීනය සූදානම්.

එක්ව, අවංක අන්‍යෝන්‍ය සහාය සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම් වූ උපායමාර්ගික සහයෝගී හවුල්කාරිත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් චීන-ශ්‍රී ලංකා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනගමු.

වසර 77ක කීර්තිමත් ගමනක් අපව අද මෙතැනට රැගෙනවිත් තිබෙනවා. අපි එක්ව තවදුරටත් ගමන් කරමින් නව පරිච්ඡේද ලියමු.

මම යෝජනා කරන්නේ,

අපගේ ශ්‍රේෂ්ඨ මාතෘභූමියේ සමෘද්ධිය සහ ශක්තිය වෙනුවෙන්,

චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර දිගුකාලීන මිත්‍රත්වය වෙනුවෙන්,

ලෝකයේ සදාකාලික සාමය සහ සන්සුන්භාවය වෙනුවෙන්,

අපගේ සියලු ගරු ආරාධිත අමුත්තන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපත් සෞඛ්‍යය සහ සතුට වෙනුවෙන්,

චියර්ස්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *