ඔස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය වෙබ් අඩවියකට OpenAI AI වැඩසටහනක් අනවසරයෙන් පිවිසෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් ජුනි මාසයේදී ඔස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසීමේ සිද්ධියක් වාර්තා වී ඇති අතර, එය “පිළිගත නොහැකි” තත්ත්වයක් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසයි.

නිව්යෝර්ක් නුවරදී ඊයේ (බදාදා) මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ, අදාළ කෘත්‍රිම බුද්ධි ඒජන්තය සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සේවයට අයත් මහජනතාවට විවෘත සහ සීමාසහිත ගොනු වෙත ප්‍රවේශ වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට OpenAI සමාගම අනතුරු අඟවා ඇත්තේ සැප්තැම්බර් මාසයේදී බවත්, ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් විද්‍යුත් තැපෑලක් සාමාන්‍ය මහජන විද්‍යුත් තැපැල් ලිපිනයකට යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“අද මම OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් අල්ට්මන් සමඟ කතා කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දැඩි කනස්සල්ල ඔහු වෙත ප්‍රකාශ කළා,” යනුවෙන් ඇල්බනීස් පැවසීය.

“සිදුවූ දේ පිළිබඳව රජයට දැනුම් දීමට සමාගම ගත කළ අධික කාලය සම්බන්ධයෙන් මගේ කලකිරීමත් මම ප්‍රකාශ කළා,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“සැප්තැම්බර් 10 වැනිදා වනතුරු කිසිදු දැනුම්දීමක් සිදුකර තිබුණේ නැහැ. එම දැනුම්දීමත් සිදුකර තිබුණේ රජයේ පොදු විද්‍යුත් තැපැල් ලිපිනයකට යැවූ විද්‍යුත් තැපෑලක් මගින් පමණයි,” යනුවෙන් ඔහු පැවසීය.

OpenAI සහ එහි තරගකාරී සමාගමක් වන Anthropic විසින් සංවර්ධනය කරන ලද කෘත්‍රිම බුද්ධි ආකෘති සම්බන්ධයෙන් සිදුවූ අනවසර පරිගණක ප්‍රවේශ සිදුවීම් කිහිපයකින් අනතුරුව, දියුණු AI මෙවලම්වල හැකියාව සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පවතින කනස්සල්ලද ඉහළ යමින් තිබේ.

අග්‍රාමාත්‍ය ඇල්බනීස් සඳහන් කළේ, OpenAI වැඩසටහන සෞඛ්‍ය පර්යේෂණයක් සිදුකරමින් සිටියදී සීමා කර තිබූ දත්ත සමූහයකට ප්‍රවේශ වීමට උත්සාහ කර ඇති බවයි.

“එය අවහිර කළ විට, එම අවහිරතාව මඟහැරීමට ක්‍රම සෙවීමට උත්සාහ කළා,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“වඩාත් හොඳ ආරක්ෂක ක්‍රමවේද සහ ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කළ යුතු බව OpenAI සමාගම දන්නවා කියලා මම හිතනවා,” ඔහු පැවසීය.

“මෙය පර්යේෂණ ව්‍යාපෘතියක්. නමුත් එය නොයා යුතු ප්‍රදේශවලට ගිහින් තිබෙනවා.”

“පැහැදිලිවම පිළිගත නොහැකියි”

රජයේ සේවා ජාලයට වඩා පුළුල් ආකාරයේ අනවසර ප්‍රවේශයක් සිදුවී ඇති බවට මේ වන විට කිසිදු සාක්ෂියක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“මේ අවස්ථාවේදී කිසිදු පුද්ගලික තොරතුරකට ප්‍රවේශ වී ඇති බව විශ්වාස කිරීමට සාක්ෂි නැහැ. එහෙත් විමර්ශන තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා,” ඔහු සඳහන් කළේය.

“කෙසේ වෙතත්, මෙම තත්ත්වය පැහැදිලිවම පිළිගත නොහැකියි,” යනුවෙන් ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු සංඥා අධ්‍යක්ෂ මණ්ඩලය (Australian Signals Directorate) මේ සම්බන්ධයෙන් සිදුකරන “අධිකරණ විද්‍යාත්මක පරීක්ෂණයට” සහාය ලබාදෙන බවත්, එමගින් බලපෑමට ලක්ව ඇති වෙනත් රජයේ පද්ධති තිබේද යන්න ඇතුළු වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මේ අතර, OpenAI සමාගම සඳහන් කළේ මෑතකදී සිදුකළ සමාලෝචනයකදී ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවි සහ සේවා කිහිපයකට බලපෑම් සිදුවී ඇති බවට හඳුනාගත් බවයි.

“මෙම සමාලෝචනය අතරතුර, අපගේ ආකෘති අභ්‍යන්තර ඇගයීමක් අතරතුර ඔස්ට්‍රේලියාව සම්බන්ධ ප්‍රශ්න සඳහා පිළිතුරු සහ ලබාගත හැකි සංඛ්‍යාලේඛන සෙවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවි සහ සේවා කිහිපයක් සම්බන්ධ ක්‍රියාකාරකම් අප හඳුනා ගත්තා.

“එම ක්‍රියාවලියේදී අප අදහස් නොකළ ක්‍රියාමාර්ග කිහිපයක් අපගේ ආකෘති විසින් සිදුකර තිබෙනවා,” යනුවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි OpenAI සමාගම ප්‍රකාශ කළේය.

AI මගින් ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන් අල්ට්මන් ඇතුළු තාක්ෂණික සමාගම් ප්‍රධානීන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අමතා අදහස් දක්වා තිබේ.

OpenAI සහ Anthropic ඇතුළු ලොව පුරා සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් AI මගින් බලගැන්වෙන සයිබර් ආරක්ෂණ තර්ජනවලට එරෙහිව “සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීම” සඳහා ගෝලීය ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින විවෘත ලිපියකටද අත්සන් කර ඇත.

මේ වසරේ මුල් භාගයේදී OpenAI ආකෘති දෙකක් වසා තැබූ පරීක්ෂණ පරිසරයකින් පිටතට පැමිණ AI වේදිකාවක් වන Hugging Face හි අභ්‍යන්තර පද්ධතිවලටද අනවසරයෙන් පිවිසී තිබූ බව වාර්තා විය.

එමෙන්ම, “සැබෑ ලෝකයේ” පද්ධති වෙත ප්‍රවේශ වීමෙන් වළක්වාලීමේ අරමුණින් සිදුකළ පරීක්ෂණයක් අතරතුර, තම AI ආකෘති විසින් නම් නොකළ සංවිධාන තුනක පද්ධති වෙත අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බව Anthropic සමාගම මෑතකදී අනාවරණය කර තිබේ.

Google සමාගමද පසුගිය සතියේ සඳහන් කළේ, එහි පාරිභෝගික AI ආකෘතිය වන Gemini විසින් පිවිසුම් තොරතුරු අනුමාන කිරීම හරහා පද්ධති කිහිපයකට අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බවයි.

(ප්‍රංශ 24 / AFP)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *