ඩිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑ ප්‍රදේශවල සහන මෙහෙයුම් සහ අත්‍යවශ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා ගිලන් රථ, ගලි බවුසර්, සිංගල් කැබ් සහ ටිපර් රථ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මෙම වාහන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ඉන්දීය රුපියල් ණය මාර්ගය යටතේ ලබාදී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 100ක කෙටිකාලීන ණය පහසුකම භාවිත කිරීමට නියමිතය.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, මෙම වාහන ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඒවාට අනුබද්ධ ආයතන වෙත ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.
මෙම කෙටිකාලීන ණය පහසුකමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් ඉන්දියාවෙන් අභිජනන සතුන් ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති අතර, ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 95 වාහන මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට නියමිතය.
මේ අතර, සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ පුළුල් පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා සහාය වීමට Operation Sagar Bandhu යටතේ ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 250ක දිගුකාලීන ණය පහසුකමක්ද ලබාදී තිබේ.


