රුපියල් මිලියන 8.1ක අල්ලස් චෝදනාවකට හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු අත්අඩංගුවට

හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු රුපියල් මිලියන 8.1ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිෂන් සභාව සඳහන් කළේ සැකකරු 21 පස්වරු 4.55ට පමණ අත්අඩංගුවට ගත් බවයි.

විධිමත් රාජ්‍ය ක්‍රමවේදවලින් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පමණක් ලංකා පොස්පේට් සමාගම හරහා පොස්පේට් අපනයනය කිරීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබේ.

එම සමාගම්වලට අවශ්‍ය අපනයන බලපත්‍ර ලබාගැනීමට සහය දැක්වීම වෙනුවෙන් සැකකරු ඔවුන්ගෙන් අල්ලස් මුදල් ඉල්ලා ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් කොමිසම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *