රුපියල් මිලියන 201.89ක් වටිනා හෂීෂ් සමඟ කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 201.89ක් පමණ වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ 27 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චිත්‍ර ශිල්පියෙකු ලෙස සේවය කරන සැකකරු කටාර් ගුවන් සේවයට අයත් QR662 දරණ ගුවන් යානයෙන් කටාර්හි දෝහා හරහා කැනඩාවේ ටොරොන්ටෝ සිට 26 අලුයම 2.30ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී ඒවා තුළ සඟවා තිබූ දුඹුරු පැහැති හෂීෂ් බවට සැක කෙරෙන ගල් ආකාරයේ පැකට් 80ක් සොයාගෙන තිබේ.

රේගුව සඳහන් කළේ, එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 20.117ක් වන අතර, එහි වීථි වටිනාකම රුපියල් මිලියන 201.89ක් පමණ වන බවයි.

රේගුව විසින් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *