මාස 9ක් සම්පූර්ණ වීමටත් පෙර රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව 2026 වසර සඳහා ආදායම් එකතු කිරීමේදී රුපියල් ට්‍රිලියන 2 සීමාව පසුකර තිබේ.

රේගු ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ ජනවාරි 1 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 2ක ආදායමක් රැස් කිරීමට රේගුව සමත්ව ඇති බවයි.

එය මෙම වසර සඳහා රේගුවට නියම කර ඇති රුපියල් ට්‍රිලියන 2.207ක සමස්ත ආදායම් ඉලක්කයෙන් 90%කට වැඩි ප්‍රමාණයකි.

වසර අවසන් වීමට තවත් මාස තුනකට වැඩි කාලයක් තිබියදීත් රුපියල් ට්‍රිලියන 2 සීමාව පසුකර තිබීම විශේෂත්වයකි. සම්පූර්ණ වාර්ෂික ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා රේගුවට තවත් රුපියල් බිලියන 207ක පමණ ආදායමක් එකතු කර ගැනීමට අවශ්‍යව තිබේ.

නිල රේගු දත්ත අනුව අගෝස්තු මාසය අවසන් වන විට රුපියල් ට්‍රිලියන 1.85ක ආදායමක් එකතු කර තිබූ අතර, එය වසරේ පළමු මාස අට සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කයද ඉක්මවා ගිය අගයකි.

මේ අතර, 2025 වසරේදී ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ ඉහළම වාර්ෂික ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 2.56ක් එකතු කර තිබුණි. එම ආදායම සංශෝධිත වාර්ෂික ඉලක්කයද ඉක්මවා ගොස් තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *