Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පැය 72 රඳවාගැනීම පැය 48ට බස්සන්න ජනපතිගෙන් තීරණයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

යෝජිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (Prevention of Organised Crimes Bill) තුළ අන්තර්ගත ඇතැම් වගන්ති පිළිබඳව විවිධ පාර්ශ්වයන් මතුකළ බරපතළ විරෝධතා සැලකිල්ලට ගනිමින්, සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩුකිරීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ “රටම එකට” (Ratama Ekata) ජාතික මෙහෙයුමේ පළමු සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අදාළ පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ප්‍රධාන අංශ තුනක් (03) සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලසීමාව, අපරාධ කල්ලි සාමාජිකයන් හඳුනාගැනීමට සිරුරේ කොටා ඇති පච්ච (Tattoos) භාවිත කිරීම සහ සුරාබදු ආඥාපනත යටතට ගැනෙන වැරදි මෙම පනතට ඇතුළත් කිරීම යන කරුණු තුන සංශෝධනය කිරීමට රජය සූදානම් බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

සංශෝධනය වන ප්‍රධාන කරුණු 3

දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලමින් පවතින මෙම පනත් කෙටුම්පත මඟින් සැකකරුවන් පැය 72ක් රඳවා තබාගැනීමට ලබාදී තිබූ බලතලයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වූ බැවින්, එම කාලය පැය 48ක් දක්වා අඩුකිරීමට රජය එකඟතාව පළකර තිබේ.

එසේම, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් හඳුනාගැනීම සඳහා ජාත්‍යන්තරයේ ඇතැම් රටවල පච්ච (Tattoos) සලකා බැලීමේ ක්‍රමවේද පැවතියද, එය මෙරටට නුසුදුසු යැයි හැඟෙන්නේ නම් එම වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටද රජය සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මීට අමතරව පෙත්සම්කරුවන් මතුකළ තවත් ගැටලුවක් වූ සුරාබදු ආඥාපනත යටතට ගැනෙන වැරදි මෙම පනතින් සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනු ඇත.

“අපේ අරමුණ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නෙවෙයි”

මෙම පනතට එරෙහිව හඬනගන මානව හිමිකම් සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට රජය නිරන්තරයෙන් විවෘතව පසුවන බව ජනාධිපතිවරයා පැවසීය. අතීතයේදී සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) වගන්ති භාවිත කළද, වර්තමානයේදී අපරාධ ජාලයන් අතිශය බලගතු වී ඇති බැවින් ඊටම වෙන්වූ විශේෂිත නීතිමය රාමුවක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

රජයේ අරමුණ කිසිසේත්ම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම හෝ පොලිසියට අසීමිත මර්දන බලතල ලබාදීම නොවන බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙම පනතේ එකම සහ මූලික අරමුණ ශ්‍රී ලංකාව තුළ හිස ඔසවන සංවිධානාත්මක පාතාල අපරාධ ජාලයන් මර්දනය කිරීම පමණක් බව යළිත් කියා සිටියේය.

ඔබේ අදහස