දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයකට විශේෂ බහුතරයක් අවශ්‍යයි: 17 වැනි වගන්තියට ජනමත විචාරණයකුත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ අභියෝගයට ලක් කළ දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය තමන් වෙත ලැබී ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව පනත් කෙටුම්පතේ 3, 4, 6(0) සහ 6(5) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන අතර, ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.

කෙසේ වෙතත්, 6 සහ 7 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(a) වගන්ති සමඟ නොගැළපෙන බැවින්, ඒවා සම්මත කිරීමට 84(2) වගන්තිය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එමෙන්ම 7 වැනි වගන්තිය එහි වත්මන් ස්වරූපයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය සමඟ නොගැළපෙන බවද අධිකරණය තීරණය කර ඇත. ඒ අනුව, එම වගන්තිය මඟින් යෝජනා කර ඇති 81 වැනි වගන්තිය ඉවත් කිරීමේ යෝජනාව ඉල්ලා අස්කරගත යුතු බව අධිකරණය පෙන්වා දී තිබේ.

7 වැනි වගන්තිය ඉදිරියට ගෙන යන්නේ නම්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) වගන්තිය සමඟ කියවිය යුතු 84(2) වගන්තිය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මේ අතර, 11(1) වගන්තිය මඟින් 88(1)(f) වගන්තිය හඳුන්වාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් අධිකරණය තීරණය කර ඇත.

එමෙන්ම කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට යෝජිත 11(2) වගන්තියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 14(1)(a) සහ 14(a) වගන්ති සමඟ නොගැළපෙන බවට අධිකරණය තීරණය කර නොමැති අතර, එයද සරල බහුතරයකින් සම්මත කළ හැකි බව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(c) වගන්තිය, 3 වැනි වගන්තිය සමඟ කියවීමේදී, නොගැළපෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එම නිගමනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) වගන්තියද අදාළ වන බව අධිකරණය සඳහන් කර ඇත.

ඒ අනුව, 17 වැනි වගන්තිය නීතියක් බවට පත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වගන්තිය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම පමණක් නොව, 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *