දිස්ත්‍රික්ක 13කට රතු නිවේදන: මිලිමීටර් 100 ඉක්මවන තද වැසි සහ මුහුදේ දැඩි සුළං

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඊයේ (24) නිකුත් කළ එම නිවේදනය අද (25) පෙරවරු 7.00 දක්වා බලපැවැත්වෙන අතර, දිස්ත්‍රික්ක 13කට රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 12කට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අදාළ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි අපේක්ෂා කෙරේ.

උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉන්දියානු වෙරළ තීරය හරහා ගමන් කරයි

බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම සහ ඊට යාබද වයඹ ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය කන්කසන්තුරයට ඊසාන දෙසින් කිලෝමීටර් 1,020ක් පමණ දුරින් පිහිටා තිබේ.

එමගින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් ඇති නොවුණද, පද්ධතිය දෙසට හමා යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශවල තද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යා හැකිය.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

උතුරු අක්ෂාංශ අංශක 7ත් 22ත් අතර සහ නැගෙනහිර දේශාංශ අංශක 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

දැනට එම මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික යාත්‍රාවලට අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසද දැනුම් දී තිබේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි

කන්කසන්තුරයේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර, සාමාන්‍ය සුළං වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පවතිනු ඇත.

ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වාත්, ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා ඉහළ යා හැකිය.

දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩිවිය හැකිය.

ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට මීගමුව දක්වා සහ ගාල්ලේ සිට පොතුවිල් දක්වා ඉහත සඳහන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන්නන්ට විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැකිය.

පුත්තලමේ සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර උසකට ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *