දඹුල්ල සික්සර්ස් හමුවේ ගාල්ල ගැලන්ට්ස් අපරාජිත ගමන නතර වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 තරගාවලියේ අපරාජිතව සිටි ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන  දඹුල්ල රංගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආලෝක ධාරා මධ්‍යයේ පැවති අටවැනි තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වීමත් සමඟ අවසන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ රීසා හෙන්ඩ්‍රික්ස්ගේ විශිෂ්ට පිතිහරඹයයි.

ඔහු පන්දු 37කදී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 64ක් රැස් කරමින් තරගයේ ජයග්‍රාහී ඉනිම ක්‍රීඩා කළේය.

හෙන්ඩ්‍රික්ස් වටිනා සබඳතා තුනකට දායක විය. පළමුව ඔහු පවන් රත්නායක සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවක් ගොඩනැගූ අතර, අනතුරුව මාකේස් ඇකර්මන් සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් පිහිටුවීය.

පසුව ගුල්බඩින් නයිබ් සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 41ක සබඳතාවක් ගොඩනඟමින් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට ආරම්භයේදීම පසුබෑමක් එල්ල වූයේ ලකුණු 14ක් පමණක් ලබා සිටියදී තෙවැනි පන්දු වාරයේදී පළමු කඩුල්ල බිඳ වැටීමත් සමඟය.

ඉන් අනතුරුව සෑම් හාපර් සහ චරිත් අසලංක ඉනිම ගොඩනඟමින් පන්දු 28ක් තුළ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 50 ඉක්මවා රැගෙන ගියහ. ඔවුන් දෙදෙනා පන්දු 30කදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවද සම්පූර්ණ කළහ.

දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ගුල්බඩින් නයිබ්, පන්දු 25කින් වේගවත් ලකුණු 49ක් රැස් කළ සෑම් හාපර් දවා ගනිමින් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට වැදගත් කඩුල්ලක් ලබා දුන්නේය. හාපර් සහ අසලංක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 64ක් එක් කළහ.

අවසන් භාගයේදී චාමික කරුණාරත්න පන්දු 30කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 45ක් රැස් කරමින් ගාල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.

ඔහු නායක දසුන් ශානක සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවක් ගොඩනැගූ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 178ක් රැස් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *