සෞදි අරාබියට සිවිල් න්‍යෂ්ටික වැඩසටහනක් සංවර්ධනය කිරීමට අවස්ථාව සැලසෙන බව වාර්තා වන ඓතිහාසික ගිවිසුමකට අමෙරිකාව සහ සෞදි අරාබිය අත්සන් තබා තිබේ.
අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම ගිවිසුම “සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක්” ලෙස හැඳින්වෙන අතර, එමගින් සෞදි අරාබියේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සඳහා අමෙරිකානු සමාගම්වලට විශාල අවස්ථාවන් ලැබෙන බවයි.
කෙසේ වෙතත්, ගිවිසුමේ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කර නොමැති අතර, අමෙරිකානු මාධ්‍ය වාර්තා අනුව අනාගතයේදී සෞදි අරාබියට යුරේනියම් පොහොසත් කිරීමේ (uranium enrichment) හැකියාව ලැබිය හැකි බව සඳහන් වේ.
යුරේනියම් පොහොසත් කිරීම විදුලි බලාගාර සඳහා ඉන්ධන නිෂ්පාදනයට භාවිත කළ හැකි නමුත්, එය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහාද යොදාගත හැකි බැවින් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය න්‍යෂ්ටික අවි ව්‍යාප්තියේ අවදානමක් ඇති කළ හැකි බවයි.
විශේෂඥයන්ට අනුව, මෙම ගිවිසුම අමෙරිකාව වෙනත් රටකට තම භූමිය තුළ යුරේනියම් පොහොසත් කිරීමේ පහසුකම් සංවර්ධනය කිරීමට සහාය වන පළමු අවස්ථාව විය හැකි අතර, දැනටමත් අස්ථාවර මැද පෙරදිග කලාපයේ නව ආරක්ෂක ගැටලු මතු කළ හැකිය.
අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සහයෝගීතා ගිවිසුමට අමතරව “ද්විපාර්ශ්වික ආරක්ෂණ ගිවිසුමක්” ද අත්සන් කර ඇති බවයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මෙම ගිවිසුම් දෙක මගින් දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වන බිලියන ගණනක වටිනාකමකින් යුත් හවුල්කාරීත්වයකට නීතිමය පදනම සකස් කරන බවත්, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම ඇතුළු ආර්ථික හා උපායමාර්ගික අරමුණු ඉදිරියට ගෙන යන බවත්ය.
සෞදි රජයද ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම ගිවිසුම දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමක් බවයි.
මෙම නිවේදනය නිකුත් වී ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අවස්ථාවකදීය. දිගුකාලීන අමෙරිකානු මිතුරෙකු වන සෞදි අරාබිය තුළ අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් පවතින අතර, ඒවාට ඉරානයෙන් ප්‍රහාර එල්ල වී තිබේ.
එමෙන්ම, ඉරානයේ සහාය ලබන යේමනයේ හවුති කණ්ඩායම සෞදි අරාබියට එරෙහිව “සාගර අවහිරයක්” ප්‍රකාශයට පත් කර දින දෙකකට පසුව මෙම ගිවිසුම නිවේදනය කර ඇත.
පෙර වාර්තා අනුව, අමෙරිකාව සමඟ ඒකාබද්ධ අධ්‍යයනයකින් පසුව සෞදි අරාබියට තම භූමිය තුළ යුරේනියම් පොහොසත් කර අමෙරිකානු තාක්ෂණයෙන් ඉදිකරන ලද පහසුකමකදී න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබිය හැකිය.
මෙය අමෙරිකානු සමාගම්වලට බිලියන ගණනක ව්‍යාපාර අවස්ථාවක් ලබාදිය හැකි අතර, පොහොසත් කළ යුරේනියම් විදුලි බලාගාර සඳහා මෙන්ම න්‍යෂ්ටික අවි සඳහාද භාවිත කළ හැකිය.
අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් ප්‍රකාශ කළේ, මෙම ගිවිසුම් මගින් ඉහළම න්‍යෂ්ටික ආරක්ෂණ සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ප්‍රමිතීන් ආරක්ෂා කරන බවයි.
එහෙත්, මැද පෙරදිග අමෙරිකාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යයක් වන ඊශ්‍රායලයේ න්‍යෂ්ටික විශේෂඥයන් සහ හිටපු නිලධාරීන් මෙම සැලැස්ම පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, අවසානයේදී මෙය සෞදි අරාබියට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ හැකියාව ලබාදිය හැකි බවයි. කෙසේ වෙතත්, එවැනි මට්ටමකට ළඟා වීමට දශක ගණනාවක් ගත විය හැකි බවත්, ජාත්‍යන්තර ප්‍රජාවේ විරෝධයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් විශේෂඥයෝ පවසති.
අමෙරිකාවේ Defense Priorities ආයතනයේ මැද පෙරදිග වැඩසටහන් අධ්‍යක්ෂිකා රෝස්මරි කෙලනික් සඳහන් කළේ, මෙම ගිවිසුම තුළ සෞදි අරාබියට තම භූමිය තුළ යුරේනියම් පොහොසත් කිරීම සඳහා අමෙරිකාවේ සහාය ඇතුළත් වන්නේ නම් එය “ඉතා පුදුම සහගත” කරුණක් වනු ඇති බවයි.
“ඔබට ඔබේම න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනය කළ හැකි නම්, න්‍යෂ්ටික අවි නිපදවීමේ අවදානම විශාල ලෙස ඉහළ යනවා,” යැයි ඇය සඳහන් කළාය.
මෙම ගිවිසුම දැන් අනුමැතිය සඳහා අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, දේශපාලන පක්ෂ දෙකේම ඇතැම් මන්ත්‍රීවරුන් මෙම ගිවිසුමට විරෝධය පළ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ විවේචකයන්ට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, න්‍යෂ්ටික අවි ව්‍යාප්තියේ අවදානමක් ඇති කරන කිසිදු ගිවිසුමකට අමෙරිකාව එකඟ නොවන බවයි.
කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ, රූබියෝ මීට පෙර සෙනෙට් සභිකයෙකු ලෙස සිටියදී සෞදි අරාබියට න්‍යෂ්ටික අවි ලබාදීමට එරෙහි පනතකට සහාය දුන් බවයි.
මෙම ගිවිසුමට යුරේනියම් පොහොසත් කිරීමේ අයිතිය ඇතුළත් වන්නේ නම්, එය 2009 වසරේදී අමෙරිකාව සහ සෞදි අරාබියේ අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති කරගත් ගිවිසුමෙන් වෙනස් වනු ඇත. එම ගිවිසුම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තමන්ගේම න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනය නොකරන අතර දැඩි සීමාවන් පිළිගෙන ඇත.
සෞදි අරාබිය වසර ගණනාවක් පුරා විවිධ අමෙරිකානු ජනාධිපතිවරුන් යටතේ මෙවැනි ගිවිසුමක් ලබාගැනීමට උත්සාහ කර තිබුණි.
මීට පෙර වොෂින්ටනයේ ප්‍රධාන ඉල්ලීම වූයේ සෞදි අරාබිය අමෙරිකාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යයක් වන ඊශ්‍රායලය පිළිගෙන රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා සාමාන්‍යකරණය කිරීමයි. නමුත් මාධ්‍ය වාර්තා අනුව මෙම කොන්දේසිය දැන් ඉවත් කර ඇති බව සඳහන් වේ.
මෙම ගිවිසුම සෞදි අරාබියට විශාල උපායමාර්ගික ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර, මැද පෙරදිග බල තුලනය වෙනස් කිරීමට හැකියාවක් ඇති බව විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වෙතත්, එවැනි වෙනසක් ක්ෂණිකව සිදු නොවනු ඇති අතර, එය වසර ගණනාවක් ගත විය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
සෞදි අරාබියේ බලවත් නායකයා වන ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් 2018 වසරේදී ප්‍රකාශ කර තිබුණේ, ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සංවර්ධනය කළහොත් සෞදි අරාබියද “හැකි ඉක්මනින් එම මාර්ගය අනුගමනය කරන” බවයි.


