ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි බව කියන ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන එහි සිටි ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ, ඔක්තෝබර් 3 වැනිදා සවස සිදුකළ මෙහෙයුමකදී අදාළ යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) පසුකර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නිරීක්ෂණය කර තිබූ බව නාවික හමුදාව සඳහන් කළේය.
ඒ අනුව සිදුකළ මෙහෙයුමේදී එක් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි සිටි ධීවරයින් 9 දෙනාම නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙත රැගෙන එමින් පවතින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනයේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව පැවසීය.


