ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් රජයේ සහාය යටතේ ඉදිකළ නිවාස 5,000ක් අද (5) ජනතාව වෙත භාරදීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“සැමට සුරක්ෂිත නිවසක්” යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දින සැමරුම අද (5) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වීමට නියමිත බවද ඔහු පැවසීය.
ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව රට පුරා ජනාවාස සතියක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
දෙසැම්බර් 31 වන විට නිවාස 30,000ක් ඉදිකිරීම රජයේ ඉලක්කය බවත්, සෑම පුද්ගලයෙකුටම සුරක්ෂිත නිවසක් ලබාදීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නිවාස වෙන් කිරීමේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවද ඔහු පැවසීය.
ප්‍රජා සහභාගීත්වයෙන් ඉදිකරන සෑම නිවසක්ම වර්ග අඩි 550කින් සමන්විත, අවශ්‍ය පහසුකම්වලින් සම්පූර්ණ නිවසක් ලෙස ඉදිකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
යුද්ධය හේතුවෙන් නිවාස අහිමි වූ උතුරු සහ නැගෙනහිර පළාත්වල පවුල් සඳහාද මෙම වැඩසටහන යටතේ නිවාස ලබාදීමට නියමිත අතර, එවැනි සෑම නිවසක් සඳහාම රු. මිලියන 2ක මුදලක් රජය වෙන් කරනු ඇත.
“යතිවර මා පිය” වැඩසටහන යටතේ සෑම නිවසක් සඳහාම රු. මිලියන 1.5ක මුදලක් ලබාදෙන අතර, ආයතනගත රැකවරණය යටතේ සිටින දරුවන් වෙනුවෙන් ඉදිකරන සුරක්ෂිත නිවාසයක් සඳහා රු. මිලියන 2ක මුදලක් වෙන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වූ සෑම පවුලකටම රු. මිලියන 5ක මුදලක් ලබාදීමටද රජය කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් සඳහා නිවාස ණය ලබාදීමට රු. මිලියන 500ක මුදලක් වෙන් කර ඇති අතර, එම ණය සඳහා අය කරන පොලියෙන් ප්‍රතිශත ඒකක 4ක පොලී සහනයක් රජය විසින් ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.
විදේශගත ශ්‍රමිකයන්ට සියයට 15ක පොලී අනුපාතයක් යටතේ රු. මිලියන 10ක් දක්වා බැංකු ණය ලබාගැනීමට හැකි වන අතර, එම ණය සඳහා අය කෙරෙන පොලියෙන් කොටසක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සහාය ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


