කොස්ගොඩ අකඩේගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටි පිරිසක් පුද්ගලයන් සිව්දෙනෙකු ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගිනිඅවි, උණ්ඩ සහ අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඔක්තෝබර් 3 වැනිදා අදාළ නිවස වටලා ඇති බවයි.
වැටලීම අතරතුර එක් සැකකරුවෙකු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, එහිදී පොලිසියද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ. එම වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
නිවසේ සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තුන්වැනි සැකකරුවෙකු එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
නිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 9 පිස්තෝලයක් සහ එහි උණ්ඩ 8ක් සහිත මැගසිනයක්, උණ්ඩ 6ක් සහිත රිවෝල්වරයක්, තවත් උණ්ඩ 6ක් සහිත මිලිමීටර් 9 මැගසීනයක් සහ විදේශයක නිෂ්පාදිත අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, එය කිසියම් අපරාධයක් සඳහා භාවිත කිරීමට සූදානම් කර තිබූ බවට විමර්ශකයන් සැක කරයි. ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 32 සහ 33 වයස්වල පසුවන මහා ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවේ පසුවන සැකකරු සහ සොයාගත් භාණ්ඩ කොස්ගොඩ පොලිසිය වෙත භාරදී තිබේ.
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමටද කටයුතු කරමින් කොස්ගොඩ පොලිසිය සහ වලාන දූෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.


