ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් මහතා අතර දෙරට අතර සහයෝගිතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඩිජිටල් පරිවර්තනය, වෙළෙඳාම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇත.
තානාපති එරික් මේයර් මහතා ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා ඇමරිකාව ලබාදෙන නව සහාය, වලාකුළු පරිගණක යටිතල පහසුකම් සහ වරාය නවීකරණය ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කළ බවයි.
එම සහාය “ඇමරිකානු සමාගම් සඳහා නව අවස්ථා විවෘත කරමින් දෙරට අතර වෙළෙඳ හා ආරක්ෂක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට” මඟ පාදනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ඇමරිකානු තාක්ෂණය සහ වෙළෙඳාම මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සහයෝගිතාවද සාකච්ඡාවට ලක්වී තිබේ.
“ඇමරිකානු තාක්ෂණය සහ වෙළෙඳාමේ සිට සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සහයෝගිතාව දක්වා දෙරටේම අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා අපට පුළුල් වැඩසටහනක් තිබෙනවා,” යනුවෙන් තානාපති මේයර් මහතා පවසා ඇත.



