ජාන්වි කපූර්ගේ AI Deepfake වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පැතිරෙයි: Jr NTR නීතිමය පියවර ගැනීමට සැරසෙයි

නිළි ජාන්වි කපූර් ඉලක්ක කර ගනිමින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කළ Deepfake වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යාමත් සමඟ නළු Jr NTR ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශ කර තිබේ.

Jr NTR සහ ජාන්වි කපූර් රංගනයෙන් දායක වූ 2024 වසරේ තිරගත වූ “Devara: Part 1” චිත්‍රපටයේ ජනප්‍රිය “Chuttamalle” ගීතයට අදාළ දර්ශන භාවිත කර මෙම ව්‍යාජ වීඩියෝව සකස් කර තිබේ.

මුල් වීඩියෝවේ නොතිබූ ලිංගික ස්වභාවයේ දර්ශන නිර්මාණය වන ආකාරයෙන් ජාන්වි කපූර්ගේ පෙනුම ඩිජිටල් තාක්ෂණය මගින් වෙනස් කර මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බව සඳහන් වේ.

පසුගිය දින කිහිපය තුළ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වී තිබේ.

වීඩියෝව හෙළා දකිමින් Jr NTR පැවසුවේ එය නිර්මාණය කිරීම සහ සංසරණය කිරීම “පිළිකුල් සහගත, අසනීප සහ නිර්ලජ්ජිත” ක්‍රියාවක් බවයි.

එම වීඩියෝව නිර්මාණය කිරීමට සහ එය ප්‍රචාරය කිරීමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය.

එම ව්‍යාජ අන්තර්ගතය නැරඹීමෙන්, බෙදාගැනීමෙන් හෝ ඒ සමඟ සම්බන්ධ වීමෙන් වළකින ලෙසද Jr NTR සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම AI තාක්ෂණය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා වඩාත් දැඩි ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලෙස ඔහු ඉන්දියාවේ මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ගෙන්ද ඉල්ලා ඇත.

මේ අතර, ඉන්දියාවේ ප්‍රකට නළු නිළියන් කිහිපදෙනෙකුද මෙම සිදුවීම හෙළා දැකීමට එක්වී තිබේ.

නළු චිරංජීවි පැවසුවේ කාන්තාවන් අපහාසයට හා අවමානයට ලක්වන ආකාරයේ ව්‍යාජ වීඩියෝ නිර්මාණය කිරීමට AI භාවිත කිරීම සම්බන්ධයෙන් තමන් “බෙහෙවින් කම්පනයට පත්වූ” බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තෙළිඟු සිනමා කර්මාන්තයේ සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක් සහ සහාය ලබාදීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම නිර්දේශ කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

නළු විජේ දේවරකොණ්ඩාද මෙම Deepfake වීඩියෝව හෙළා දැක ඇති අතර, එය නිර්මාණය කිරීමට සහ බෙදා හැරීමට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කර තිබේ.

මෙම සිදුවීමත් සමඟ ඉන්දියාව තුළ AI මගින් නිර්මාණය කරන Deepfake අන්තර්ගත සම්බන්ධයෙන් පවතින සංවාදය යළිත් උණුසුම් වී ඇති අතර, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කැමැත්තකින් තොරව ඔවුන් සම්බන්ධ ලිංගික ස්වභාවයේ අන්තර්ගත නිර්මාණය කිරීම සඳහා මෙම තාක්ෂණය වැඩි වශයෙන් භාවිත වීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *