SLAF ගුවන් යානා සම්බන්ධ ව්‍යාජ පුහුණු වැඩසටහන් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) Antonov AN-32 ගුවන් යානා සම්බන්ධ පුහුණු වැඩසටහන්, ගුවන් යානා පරීක්ෂණ වැඩමුළු සහ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදෙන බව පවසමින් අවසරයකින් තොරව පළ කරන දැන්වීම්වලට නොරැවටෙන ලෙස ගුවන් හමුදාව මහජනතාවට අනතුරු අඟවා තිබේ.
“Flight Garage” සහ “Nextgen Engineers’ Force” යන නම්වලින් ක්‍රියාත්මක වන තෙවන පාර්ශ්ව ආයතන සහ සමාජ මාධ්‍ය පිටු ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙවැනි වැඩසටහන් සඳහා අවසරයකින් තොරව ප්‍රචාරණ සිදුකරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.
මෙම වැඩමුළු, අදාළ ආයතන හෝ ලියාපදිංචි කිරීමේ වැඩසටහන් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිසිදු සම්බන්ධතාවක්, හවුල්කාරීත්වයක් හෝ මැදිහත්වීමක් නොමැති බවද ගුවන් හමුදාව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා වෙත ප්‍රවේශය හෝ ගුවන් යානා නඩත්තු කටයුතු සම්බන්ධ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන බව පවසන තෙවන පාර්ශ්ව වෙත මුදල් මාරු කිරීමෙන්, ලියාපදිංචි ගාස්තු ගෙවීමෙන් හෝ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසද මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල නිවේදන මෙන්ම පුහුණු සහ අධ්‍යාපනික අවස්ථා පිළිබඳ තොරතුරු පළ කරනු ලබන්නේ එහි නිල වෙබ් අඩවිය සහ සත්‍යාපිත සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පමණක් බවද ගුවන් හමුදාව සඳහන් කළේය.
සැකසහිත දැන්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත්, එවැනි දැන්වීම් පිළිබඳ තොරතුරු අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.


