කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම අනතුරු ඇඟවීම මුලින්ම සැප්තැම්බර් 20 වැනිදා පෙරවරු 9.30ට නිකුත් කර තිබුණේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ගඟේ ජල මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් ඇති වූ අවදානම හේතුවෙනි.
කළු ගඟ ආශ්රිත ජල විද්‍යා මිනුම් මධ්‍යස්ථානවල වර්ෂාපතන තත්ත්වය සහ ජල මට්ටම් පිළිබඳ සිදුකළ විශ්ලේෂණයට අනුව, කුඩා ගඟ සහ මගුරු ගඟ නිම්නවල පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතින බව මුල් අනතුරු ඇඟවීමේ සඳහන් කර තිබුණි.
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශ මෙම අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම කුඩා ගඟ සහ මගුරු ගඟ ගංවතුර තැන්න හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යටවීමේ ඉහළ අවදානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කර ඇති බැවින්, බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන්ද, විශේෂයෙන් අතුරු මාර්ග භාවිත කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.


