කිලෝ 2,040ක පමණ නීතිවිරෝධී ලන්ච් ෂීට් තොගයක් විනාශ කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සහ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) එක්ව සිදු කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගත් ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 2,040ක පමණ තොගයක් විනාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් මෙම තොගය සැප්තැම්බර් 18දා පුත්තලම ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ විනාශ කිරීමේ මධ්‍යස්ථානයකදී විනාශ කර ඇති බව සඳහන් වේ.

තහනම් පොලිතින් භාවිතයෙන් නිෂ්පාදනය කළ ලන්ච් ෂීට් සහ නියමිත නීතිමය අවශ්‍යතාවලට අනුකූල නොවන ලන්ච් ෂීට් ඉලක්ක කර මෙම ඒකාබද්ධ වැටලීම් සිදු කර තිබේ.

2017 සැප්තැම්බර් 1දා නිකුත් කළ අංක 2034/34 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ, HDPE, LDPE සහ පොලිප්‍රොපිලීන් ඇතුළු පොලිතින් අමුද්‍රව්‍ය භාවිතයෙන් ආහාර එතීම සඳහා භාවිත කරන ආවරණ දේශීය භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, ප්‍රදර්ශනය කිරීම, නොමිලේ බෙදාහැරීම හෝ භාවිත කිරීම තහනම් කර තිබේ.

මේ අතර, 2019 නොවැම්බර් 29දා නිකුත් කළ අංක 2151/58 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ නිකුත් කර ඇති අංක 70 දරන නියෝගය මගින් ලන්ච් ෂීට් නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් විසින් ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.

ඒ අනුව වෙළෙඳ නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ තොරතුරු, නිෂ්පාදන දිනය, කල් ඉකුත්වන කාලය, භාවිත කළ අමුද්‍රව්‍ය සහ මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ඇතුළු තොරතුරු ඇසුරුම්වල සඳහන් කළ යුතුය.

අදාළ පාරිසරික සහ ලේබල් කිරීමේ නීතිරීතිවලට අනුකූල වන ලෙස ලන්ච් ෂීට් නිෂ්පාදකයන්, වෙළෙඳුන් සහ බෙදාහරින්නන්ගෙන් අධිකාරිය ඉල්ලා සිටී.

ලන්ච් ෂීට් මිලදී ගැනීමේදී ඒවායේ ලේබලවල සඳහන් තොරතුරු හොඳින් පරීක්ෂා කරන ලෙසද පාරිභෝගිකයන්ට දැනුම් දී තිබේ.

වෙළෙඳපොළේ සිදුවන නීති විරෝධී හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් කාර්යාල වේලාවන් තුළ ක්ෂණික දුරකථන අංක 1977 ඔස්සේ තොරතුරු ලබාදිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *