කටුනායක ගුවන් තොටුපොළට තවත් ස්වයංක්‍රීය මගී නිෂ්කාශන දොරටු 8ක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) ස්වයංක්‍රීය මගී නිෂ්කාශන දොරටු තවත් 8ක් මිලදී ගෙන ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ගුවන් තොටුපොළේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන දොරටු සංඛ්‍යාව 12 දක්වා ඉහළ යනු ඇත.

මීට පෙර 2025 මැයි මාසයේදී ගුවන් තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන දොරටු 4ක් මිලදී ගෙන ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබිණි.

දැනට ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පමණක් සීමා වී ඇති මෙම ස්වයංක්‍රීය නිෂ්කාශන පහසුකම ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සහ මෙරටින් පිටත්ව යන විදේශිකයන් සඳහාද විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

2027 වසරේදී ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය හඳුන්වාදීමට සමගාමීව මෙම පහසුකම පුළුල් කිරීමට නියමිතය.

ගුවන් මගීන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම මෙන්ම සංචාරක හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල වර්ධනයද සැලකිල්ලට ගනිමින් ස්වයංක්‍රීය නිෂ්කාශන දොරටු සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කළ බව රජය සඳහන් කරයි.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන දොරටු 12ක් ක්‍රියාත්මක වන අතර, එමගින් මගීන්ගේ ආගමන විගමන නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කෙරේ.

අමතර ස්වයංක්‍රීය නිෂ්කාශන දොරටු 8 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *