ඉන්දියාවට යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ වීසා ගාස්තු ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

ඉන්දියාවට සංචාරය කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා වීසා ගාස්තු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැහැදිලි කර තිබේ.

සුදුසුකම් ලබන වන්දනා කණ්ඩායම් සඳහා නොමිලේ (gratis) පදනම මත වීසා ලබාගත හැකි බව සිකුරාදා (24) නිකුත් කළ නිවේදනයකින් මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා කාලෝචිත සහ පහසු වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පහසුකම් සලසන බවත්, ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ ඊ-වීසා පහසුකමද භාවිත කළ හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

මහ කොමසාරිස් කාර්යාලය හරහා වීසා අයදුම් කරන ශ්‍රී ලාංකිකයන් තම මාර්ගගත අයදුම්පත් කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව පිහිටි ඉන්දීය කොන්සියුලර් අයදුම් මධ්‍යස්ථාන (ICAC) වෙත ඉදිරිපත් කළ යුතුය.

බෞද්ධ වන්දනා ස්ථාන ඇතුළු ආගමික ස්ථාන නැරඹීම සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ වීසා අයදුම්පත් පහසුකම් සහිතව කඩිනමින් සලකා බලන බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා පුද්ගලයන් 10 දෙනෙකු හෝ ඊට වැඩි වන්දනා කණ්ඩායම් සඳහා නොමිලේ වීසා නිකුත් කරන බවද එහි සඳහන් වේ.

වීසා සේවා සැපයුම් ආයතනයේ වෙනසක් හේතුවෙන් නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව නතර කර තිබූ නමුත්, නව සේවා සැපයුම්කරුවෙකු පත් කිරීමෙන් පසු එය යළි ආරම්භ කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි. නව සේවා සැපයුම්කරු 2026 ජූලි 7 වැනිදා සිට මෙහෙයුම් ආරම්භ කර ඇත.

වන්දනා වීසා අයදුම්පත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කළ යුතු බවත්, අයදුම්කරුවන් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායමක් ලෙස අයදුම් කළ හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

නව ඉන්දීය රජයේ රෙගුලාසි අනුව ජෛවමිතික දත්ත ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් ICAC මධ්‍යස්ථාන වෙත කණ්ඩායමක් ලෙස හෝ තනිව පැමිණිය යුතුය.

කෙසේ වෙතත්, වයස අවුරුදු 12ත් 70ත් අතර අයදුම්කරුවන් සඳහා පමණක් ජෛවමිතික ලියාපදිංචිය අනිවාර්ය වේ.

වැඩිහිටි පුරවැසියන් සඳහා ICAC මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී රැඳී සිටින කාලය අවම කිරීම සඳහා විශේෂ කඩිනම් ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

නිසි ක්‍රියාවලිය ඔස්සේ ඉදිරිපත් කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ වීසා සඳහා කිසිදු වීසා ගාස්තුවක් අය නොකරන බවත්, කෙසේ වෙතත් ICAC මධ්‍යස්ථාන සේවා ගාස්තුව ලෙස රුපියල් 1,855ක මුදලක් ගෙවිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *