2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
ජපානයේ පැවති අවසන් මහා තරගයේදී නායිකා හර්මන්ප්‍රීත් කෝර්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 3කට ලකුණු 216ක් රැස් කළේය.
එහිදී ස්මෘති මන්දනා පන්දු 45කදී ලකුණු 79ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර, රිචා ඝෝෂ් නොදැවී ලකුණු 49ක් රැස් කළාය.
ඉනිමේ ආරම්භයේදීම ස්මෘති මන්දනා සහ ශෆාලි වර්මා ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර, පවර්ප්ලේ පන්දුවාර 6 අවසානයේ ඉන්දියාව ලකුණු 66ක් රැස් කර තිබිණි.
අවසන් පූර්ව තරගයේදී ශතකයක් වාර්තා කළ ශෆාලි වර්මා, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පන්දු හමුවේ හයේ පහර තුනක් එල්ල කළ අතර, ලකුණු 50 සීමාව පෙනෙන මානයේදී දැවී ගියාය.
ලකුණු 217ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමට කිසිදු අවස්ථාවක වේගයක් ලබාගත නොහැකි විය. නායිකා චමරි අතපත්තු ලකුණු 29ක් ලබා ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නමුත්, ඉන්දීය පන්දු යවන්නියන්ගේ දැඩි පාලනය හමුවේ ශ්‍රී ලංකා කඩුලු එකින් එක බිඳ වැටුණි.
ඉන්දීය කණ්ඩායමේ ඩීප්ති ශර්මා පන්දුවාර 4කදී ලකුණු 6කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූවාය. ශෆාලි වර්මා, ශ්‍රී චරණි සහ ශ්රේයංකා පටිල් කඩුලු 2 බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.4කදී ලකුණු 69කට සියලු දෙනා දැවී ගිය අතර, ඒ අනුව ඉන්දියාව ලකුණු 147ක දැවැන්ත ජයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේය.
මේ අතර, තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී බංග්ලාදේශය ලකුණු 31කින් පරාජය කළ පාකිස්තානය ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
ලකුණු තත්ත්වය:
ඉන්දියා කාන්තා කණ්ඩායම: 216/3 (පන්දුවාර 20)
ස්මෘති මන්දනා 79, රිචා ඝෝෂ් නොදැවී 49
චමුදි ප්‍රබෝධා 1/34
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: 69/10 (පන්දුවාර 15.4)
චමරි අතපත්තු 29
ඩීප්ති ශර්මා 3/6
ඉන්දියාවට ලකුණු 147ක ජයක්.


