ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම පහසු කිරීමට නව යෝජනා

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ නීති සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් යෝජනා කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද මෙම කමිටුව පාර්ලිමේන්තුවේදී පැවති සිය පළමු රැස්වීමේදී මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

දෘශ්‍යාබාධ සහ ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම, දිස්ත්‍රික් මට්ටමින් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම සහ එක් එක් පුද්ගලයාගේ ශාරීරික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වාහන වෙනස් කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ හඳුන්වාදීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වී තිබේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ (NTMI) වෛද්‍ය පරීක්ෂණ හා අදාළ ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීම මෙන්ම ඒ සම්බන්ධ ගැසට් නිවේදන සංශෝධනය කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ දෘෂ්ටි ක්ෂේත්‍රය ඇගයීම මත වෛද්‍ය නිර්ණායක තීරණය කරමින්, ඔවුන්ට පුළුල් පරාසයක වාහන කාණ්ඩ සඳහා රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන යෝජනාවක් වී තිබේ.

එමෙන්ම ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සඳහා සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහාය ලබාදීම, එවැනි රියැදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ සලකුණු භාවිත කිරීම සහ එක් රියදුරු බලපත්‍රලාභියෙකුට තම අවශ්‍යතාවලට අනුව සකස් කළ වාහන කිහිපයක් ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳවද යෝජනා ඉදිරිපත් වී තිබේ.

පවතින පරිපාලන බාධා ඉවත් කිරීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර සම්බන්ධ වන ඩිජිටල් පද්ධතිය වැඩිදියුණු කිරීම කෙරෙහිද කමිටුව අවධානය යොමු කර ඇත.

එමඟින් වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා අදාළ ආයතන තුළ දැනුවත්භාවය වැඩි කිරීමටත් අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, මෙම වෙනස්කම් ක්‍රියාත්මක කිරීමේදී මාර්ග ආරක්ෂාව සම්බන්ධ දැඩි ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමටද කමිටුව අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *