Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

“අපි මේ උවදුර පරද්දනවා”: මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ජනපතිගෙන් ප්‍රකාශයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පසුගිය 2025–2026 කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම හේතුවෙන් වයස අවුරුදු 21 සහ ඊට අඩු තරුණ තරුණියන් සහ ළමුන් 11,970 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළ අතර, මත් උවදුර මෙරට ළමා හා තරුණ පරපුර දරුණු ලෙස විනාශ කරමින් සිටින බවට දැඩි අනතුරු ඇඟවීමක් කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ “රටම එකට” (A Nation United) ජාතික මෙහෙයුමේ පළමු සංවත්සරය නිමිත්තෙන් ඊයේ (05) පැවති විශේෂ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙම කම්පන සහගත සංඛ්‍යාලේඛන රට හමුවේ තැබීය.

ජනාධිපතිවරයා හෙළි කළ දත්තවලට අනුව අත්අඩංගුවට ගත් පිරිසෙහි වයස් කාණ්ඩ මෙසේය:

  • වයස අවුරුදු 18 සිට 21 දක්වා: 10,889ක්

  • වයස අවුරුදු 14 සිට 18 දක්වා: 1,068ක්

  • වයස අවුරුදු 05 සිට 14 දක්වා කුඩා දරුවන්: 13ක්

අත්අඩංගුවට ගත් පිරිස අතර පාසල් සිසුන් 50 දෙනෙකුද සිටින බවත්, සමස්තයක් ලෙස පිරිමි ළමුන් 11,737ක් සහ ගැහැණු ළමුන් 233ක් ඊට ඇතුළත් බවත් හෙළිවිය. විශේෂයෙන්ම වසරක් තුළ ගැහැණු දරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම තත්ත්වයේ බරපතළකම කියාපාන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“රටේ මතු පරපුරේ අනාගතය අඳුරු කරමින් සිදුවන මෙම විනාශයට අපි තවදුරටත් ඉඩ තබන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ මත් උවදුර සහමුලින්ම පරාජය කරනවා,” යනුවෙන් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළේය.

අත්අඩංගුවට ගත් කිලෝ 15,000ක මත්ද්‍රව්‍ය තොගය

මෙම කාලසීමාව තුළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන විනාශ කරන ලද මත්ද්‍රව්‍ය තොග පිළිබඳ දත්තද ජනාධිපතිවරයා මෙහිදී ඉදිරිපත් කළේය. ඒ අනුව සමස්තයක් ලෙස මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15,285ක දැවැන්ත තොගයක් සිය භාරයට ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වර්ගීකරණය:

  • අයිස් (ICE): කිලෝග්‍රෑම් 6,526ක්

  • හෙරොයින් (Heroin): කිලෝග්‍රෑම් 4,009ක්

  • කුෂ් සහ හෂීස්: කිලෝග්‍රෑම් 1,841ක්

  • කොකේන් (Cocaine): කිලෝග්‍රෑම් 314ක්

  • වෙනත් මත්ද්‍රව්‍ය: කිලෝග්‍රෑම් 2,595ක්

මෙරට තරුණ පරපුර මත් රකුසාගෙන් මුදාගෙන රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා රජය උපරිම කැපවීමෙන් යුතුව ඉදිරියටත් ක්‍රියාකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළිත් අවධාරණය කළේය.

ඔබේ අදහස