Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වාහන, බැංකු පොලී සහ ඩිජිටල් බදු ගැසුවේ ඇයි? රජයෙන් නිල පැහැදිලි කිරීමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

රජය විසින් හඳුන්වා දෙන ලද බදු සංශෝධන මඟින් සාමාන්‍ය ජනතාව මත අමතර බදු බරක් පටවා ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, පවතින බදු ව්‍යුහයේ අඩුපාඩු නිවැරදි කර වඩාත් සාධාරණ බදු ක්‍රමයක් ස්ථාපිත කිරීම රජයේ අරමුණ වූ බව අවධාරණය කළේය.

මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් ඔස්සේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෑතකදී ආන්දෝලනයට ලක්වූ ප්‍රධාන බදු සංශෝධන අටක් (08) පිළිබඳව සවිස්තරාත්මක කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

1. වාහන ආනයනය සඳහා පැනවූ 50%ක අධිභාරය

පෞද්ගලික වාහන ආනයන රේගු බද්ද මත සියයට 50ක අධිභාරයක් පැනවූයේ රජයේ ආදායම වැඩිකර ගැනීමට නොව, මැදපෙරදිග අර්බුදය හමුවේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීමට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධා ඇතිවීම වැළැක්වීම උදෙසා තාවකාලික පියවරක් ලෙස බව ඔහු පැහැදිලි කළේය.

2. විදුලි වාහන (EV) බදු සංශෝධනය

විදුලි වාහන ආනයන බදු ඉහළ නැංවීම, සමස්ත බදු ව්‍යුහයේ සාධාරණත්වය ඇතිකිරීමටත් රජයට සිදුවන ආදායම් පාඩුව අවම කරගැනීමටත් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

3. බැංකු තැන්පතු පොලිය මත රඳවා ගැනීමේ බද්ද (WHT)

පොලී ආදායම් මත අයකරන රඳවා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා ඉහළ දැමුවද, ආදායම් බදු ගෙවීමට බැඳී නැති අඩු ආදායම්ලාභීන්ට අදාළ ප්‍රකාශන පත්‍රය හෝ දිවුරුම් ප්‍රකාශය බැංකුවට ලබාදීමෙන් එම බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. ආදායම් බදු ගෙවන අයට මෙම 10%ක මුදල සිය වාර්ෂික අවසන් බදු ගෙවීමට හිලව් කරගත හැකිය.

4. මත්පැන් සහ දුම්වැටි සුරාබදු

2025 ජනවාරියේදී මත්පැන් සහ දුම්වැටි සඳහා සිදුකළ සියයට 6ක සුරාබදු වැඩිවීම, උද්ධමනයට සාපේක්ෂව ස්වයංක්‍රීයව සිදුවන ගණනය කිරීමක් බවත්, පසුගිය රජය යටතේ 2024 දී එය 14%කින් වැඩිවී තිබූ බවත් ඔහු සිහිපත් කළේය. ‘ඩිට්වා’ සුළි කුණාටුවේ ආර්ථික බලපෑම සලකා බලා 2026 දී එම බද්ද නැවත වැඩි නොකිරීමට රජය තීරණය කළ බවද ඔහු කීවේය.

5. මත්පැන් සහ දුම්කොළ සමාගම්වල බදු 45% දක්වා ඉහළට

මත්පැන් සහ දුම්කොළ සමාගම්වල ලාභය මත අයකරන ආයතනික බද්ද සියයට 40 සිට 45 දක්වා ඉහළ දැමීම සාධාරණීකරණය කළ අමාත්‍යවරයා, අධික ලාභ ලබන එම සමාගම් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්නොකර රජයේ ආදායමට වැඩි දායකත්වයක් ලබාදිය යුතු බව ප්‍රකාශ කළේය.

6. සේවා අපනයන සඳහා 15%ක බද්ද

සේවා අපනයනකරුවන්ට මීට පෙර පැවති පූර්ණ බදු නිදහස් කිරීම් මඟින් අනෙකුත් ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට අසාධාරණයක් සිදුවූ බව පෙන්වා දුන් ඒ මහතා, පසුගිය රජය යෝජනා කළ 30%ක ඉහළ බද්ද වෙනුවට වත්මන් රජය සමාගම් සහ පුද්ගලයන් සඳහා උපරිම බදු සීමාව 15%කට සීමා කරමින් සාධාරණ බදු රාමුවක් සැකසූ බව කීවේය.

7. ඩිජිටල් සේවා සඳහා වැට් (VAT) බද්ද

PickMe, Uber වැනි ප්‍රවාහන හා ආහාර සැපයුම් ඇතුළු මාර්ගගත (Apps) තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බද්ද හඳුන්වා දුන්නේ සාම්ප්‍රදායික ව්‍යාපාරිකයන් සහ ඩිජිටල් ව්‍යාපාරිකයන් අතර වෙළෙඳපොළේ සමාන තරගකාරීත්වයක් ඇතිකිරීමේ අරමුණින් බව ඔහු පෙන්වා දුන්නේය.

8. මූල්‍ය සේවා සඳහා 20.5%ක බද්ද

මූල්‍ය සේවා මත බදු අනුපාතය අලුතින් වැඩි නොකළ බවත්, මීට පෙර වෙන වෙනම අයකරන ලද 18%ක වැට් බද්ද සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද (SSCL) පරිපාලන පහසුව උදෙසා එකතු කර 20.5%ක තනි බද්දක් ලෙස ඒකාබද්ධව අයකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

බදු පරිපාලනයේ විධිමත්භාවය සහ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව හේතුවෙන් 2025 වසරේ අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ආදායම් උපයා ගැනීමට රජයට හැකිවූ බව පැවසූ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ගෝලීය අර්බුද මධ්‍යයේ වුවද ඉන්ධන, පොහොර සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව රටට සැපයීමට රජය සමත්ව ඇති බවත්, මහජන මුදල් නාස්තියෙන් හා දූෂණයෙන් තොරව ජනතා සුබසාධනය වෙනුවෙන් යොදවන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබේ අදහස