Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

“TIN ගන්න පෝලිම්වල ඉන්න එපා”: රජයෙන් සහනයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතික ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු (IRD) කාර්යාල ඉදිරිපිට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඊයේ (03) පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, TIN සහතිකය අනිවාර්ය කිරීමත් සමඟ මහජනතාව තුළ අනවශ්‍ය කලබලයක් සහ බියක් හටගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් පහසු විකල්ප ක්‍රමවේදයක් රජය විසින් කඩිනමින් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත්ය.

ඒ අනුව රියදුරු බලපත්‍ර, වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට හෝ බැංකු ගිණුම් විවෘත කිරීමට අපේක්ෂා කරන ජනතාවට, ඒ සඳහා TIN සහතික ලබාගැනීමට තවදුරටත් දේශීය ආදායම් කාර්යාල වෙත පැමිණීමට අවශ්‍ය නොවන නව ක්‍රමවේදයක් ඇතුළත් විශේෂ නිවේදනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් නුදුරේදීම නිකුත් කරන බව හෙතෙම පැවසීය.

අලුතින් හඳුන්වා දෙන පහසු ක්‍රමවේදය

යෝජිත නව ක්‍රමවේදය යටතේ මෙතෙක් TIN අංකයක් ලබා නොමැති පුද්ගලයින්ට, තමන් සේවාව ලබාගැනීමට අපේක්ෂා කරන අදාළ ආයතනය (බැංකුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී) වෙත සිය ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපතක්, සක්‍රීය ජංගම දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් (Email) ලිපිනයක් ලබාදීම පමණක් ප්‍රමාණවත් වේ.

අනතුරුව අදාළ ආයතනය විසින් එම තොරතුරු සෘජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමුකරමින් TIN අංකයට අදාළ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කරදෙන අතර, ඉල්ලුම්කරුගේ සේවාවද කිසිදු බාධාවකින් තොරව ඉටුකර දෙනු ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් අදාළ පුද්ගලයාගේ ඊමේල් ලිපිනය වෙත TIN අංකය හෝ ආදායම් බදු අංකය පසුව යොමුකිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. මීට අමතරව, ජාතික හැඳුනුම්පත් අංකය සහ ලියාපදිංචි ඊමේල් ලිපිනය භාවිත කරමින් මාර්ගගත ක්‍රමයටද (Online) සහතික ලබාගැනීමට ඉදිරියේදී පහසුකම් සැලසෙනු ඇත. දැනටමත් TIN අංකයක් ඇති සහ මෙතෙක් ලබාගෙන නොමැති සියලුම පුද්ගලයින්ට මෙම නව සහනදායී ක්‍රමවේදය අදාළ වේ.

නොවැම්බර් 01 වැනිදා සිට ප්‍රධාන ගනුදෙනු රැසකට TIN අනිවාර්ය වීමත් සමඟ දිවයින පුරා පිහිටි දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දැඩි තදබදයක් සහ දිගු පෝලිම් හටගෙන ඇති බවට වාර්තා පළවීම හමුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකළේය.

ඔබේ අදහස