ළමුන් සඳහා ලොව ප්‍රථම සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, අන්තර්ජාල ආරක්ෂාව ඉහළ නැංවීමේ රජයේ වැඩපිළිවෙළේ මීළඟ පියවර ලෙස සමාජ මාධ්‍ය පෝෂකවල පෙන්වන අන්තර්ගතය තෝරාගැනීමේ අවස්ථාව පරිශීලකයන්ට ලබාදීමට ඔස්ට්‍රේලියාව අඟහරුවාදා යෝජනා කර තිබේ.
මධ්‍ය වාමාංශික ලේබර් රජය විසින් ඉදිරිපත් කළ කෙටුම්පත් නීති යටතේ, සමාජ මාධ්‍ය වේදිකා තම පෙරනිමි පෝෂකය සම්බන්ධයෙන් පරිශීලකයන්ට දැනුම් දී, එය තෝරාගැනීමේ අවස්ථාව ලබාදිය යුතු වේ.
ඒ අනුව, ඇල්ගොරිතමයක් මගින් පරිශීලකයා සඳහා නිර්දේශ කරන පුද්ගලීකරණය කළ අන්තර්ගතය තම පෙරනිමි පෝෂකයට ඇතුළත් කිරීමට පරිශීලකයන්ට එකඟ විය හැකිය.
එසේ නොමැති නම්, ඇල්ගොරිතම මගින් නිර්දේශ කරන අන්තර්ගතයෙන් ඉවත් වී, තමන් විසින් තෝරාගෙන අනුගමනය කරන මිතුරන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් පළ කරන දෑ පමණක් දැකීමටද ඔවුන්ට හැකියාව ලැබේ.
“මෙය සාධාරණ, ප්‍රායෝගික සහ ක්‍රියාත්මක කළ හැකි ප්රතිසංස්කරණයක්,” යනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
“මෙමගින් පරිශීලකයන්ට තේරීමක් ලැබෙනවා. එමෙන්ම අපගේ නීති අනුගමනය කිරීමට අපොහොසත් වුවහොත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් විශාල තාක්ෂණික සමාගම් වගකිව යුතු වෙනවා,” ඔහු සඳහන් කළේය.
Facebook, Instagram සහ WhatsApp හි හිමිකාරීත්වය දරන Meta Platforms සමාගම සහ Google හි හිමිකාරීත්වය දරන Alphabet සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කළ ඉල්ලීම්වලට වහාම ප්‍රතිචාර දක්වා නොමැත.
මෙම පියවර 2024 වසරේ සිට ක්‍රියාත්මක යුරෝපා සංගමයේ ඩිජිටල් සේවා පනතේ පියවරක් අනුගමනය කිරීමක් ලෙස සැලකේ. එමගින් පරිශීලකයන්ට තමන් පිළිබඳ දත්ත පදනම් කරගත් පැතිකඩ සැකසීමේ ක්‍රියාවලිය අක්‍රිය කිරීමේ විකල්පය ලබාදීම වේදිකාවලට අනිවාර්ය කර තිබේ.
කෙසේ වෙතත්, එම ක්‍රමය ක්‍රියාත්මක කිරීම ආරම්භයේදී ගැටලු සහගත වූ අතර, පරිශීලකයන්ට එම විකල්පයෙන් ඉවත් වීම ප්‍රමාණවත් තරම් පහසු කර නොමැති බවට නියාමකයන් විසින් සමාජ මාධ්‍ය වේදිකාවලට චෝදනා කර තිබුණි.
ඇල්ගොරිතම මගින් පරිශීලකයන් තුළ ඇබ්බැහිවන හැසිරීම් දිරිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති බවට ඇති සැකයන් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සමාගම් වැඩිවන පරීක්ෂාවකට ලක්වෙමින් තිබේ.
විශේෂයෙන්ම පරිශීලකයන් දිගු වේලාවක් වේදිකාව තුළ රඳවා තබා ගැනීම සඳහා ඔවුන් කලින් නරඹන ලද අන්තර්ගතයට සමාන දෑ අඛණ්ඩව නිර්දේශ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.
අගමැති ඇල්බනීස් පැවසුවේ “My Feed, My Way” ලෙස නම් කර ඇති මෙම වැඩපිළිවෙළ යටතේ, ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට සිදුවිය හැකි හානි පිළිබඳ හඳුනාගත් අවදානම්වලට මුහුණ දීම සඳහා ඩිජිටල් වේදිකා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ලේඛන පවත්වාගෙන යාමද අනිවාර්ය වන බවයි.
එම ක්‍රියාමාර්ග කාලයත් සමඟ ඵලදායීව පවතින බව තහවුරු කිරීමද එම සමාගම්වල වගකීමක් වනු ඇත.
නව නීතිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 109.2ක් දක්වා, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 79කට ආසන්න දඩයක් පැනවිය හැකිය.
මෙම නීතිවලට අනුකූලතාව සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් වගකීම ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂණ නියාමක ආයතනය වන eSafety වෙත පැවරෙනු ඇත.
හානිකර, නිරුවත්භාවයට සම්බන්ධ සහ නීති විරෝධී අන්තර්ගතයන් කඩිනමින් ඉවත් කරන ලෙස විශාල තාක්ෂණික සමාගම් වෙත නියෝග නිකුත් කිරීමේ බලයද eSafety ආයතනයට ලබාදීමට නියමිතය.
කෙසේ වෙතත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව අනතුරු අඟවා ඇත්තේ යෝජිත නීති මගින් වාරණයකට මග පෑදිය හැකි බවයි.
“මෙය රජයට පාලනය ලබාදීමක් ගැන නොවෙයි. මෙය ජනතාවට පාලනය ලබාදීම ගැනයි,” යනුවෙන් අගමැති ඇල්බනීස් පැවසීය.
යෝජිත නීති කෙටුම්පත සම්බන්ධයෙන් ඩිජිටල් වේදිකා, කර්මාන්ත ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ අදාළ ක්ෂේත්රවල ක්‍රියාකාරීන්ගෙන් අදහස් ලබාගැනීමට රජය කටයුතු කරන අතර, පනත් කෙටුම්පත මෙම වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.


