TIN නැතත් බැංකු ගිණුම් අරින්න සහ ආදායම් බලපත්‍ර ගන්න තාවකාලික සහනයක්

මෙතෙක් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතික ලබා නොමැති පුද්ගලයින්ට, එම සහතිකය ක්ෂණිකව ඉදිරිපත් කිරීමකින් තොරව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනීමට අවස්ථාව සලසමින් තාවකාලික සහන කාලයක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, නොවැම්බර් 01 වැනිදා සිට ප්‍රධාන ගනුදෙනු අටක් සඳහා TIN අනිවාර්ය කිරීමත් සමඟ මහජනතාව මුහුණ දුන් දැඩි අපහසුතාවන්ට විසඳුමක් ලෙස මෙම පියවර ගත් බවයි.
ඒ අනුව, ජාතික හැඳුනුම්පත් (NIC) තොරතුරු සහ මූලික පුද්ගලික විස්තර පමණක් ලබාගනිමින් අදාළ ගනුදෙනු සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ බැංකු සහ රාජ්‍ය ආයතන වෙත අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.
තාවකාලික සහනය ක්‍රියාත්මක වන ආකාරය
මෙම නව ක්‍රමවේදය යටතේ TIN අංකයක් නොමැති ඕනෑම අයෙකුට සිය ජාතික හැඳුනුම්පත් අංකය සහ මූලික තොරතුරු ඉදිරිපත් කර නව බැංකු ගිණුම් විවෘත කිරීමට අවස්ථාව හිමිවේ.
එමෙන්ම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනීමට පැමිණෙන පුද්ගලයින්ටද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සිය ජාතික හැඳුනුම්පත් තොරතුරු ලබාදීමෙන් TIN සහතිකයක් නොමැතිවම ආදායම් බලපත්‍රය ලබාගැනීමට අවසර හිමිවනු ඇත.
කෙසේවෙතත්, මෙම සහනය මඟින් TIN අංකයක් ලබාගැනීමේ නීතිමය අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ඉවත් කර නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇතිකර නොගෙන ඉදිරියේදී ක්‍රමානුකූලව TIN ලියාපදිංචිය සම්පූර්ණ කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මිලියන 13කට TIN ලැබිලා; බදු ගෙවන්නේ මිලියන 1.2යි
මෙරට වයස අවුරුදු 18ට වැඩි මිලියන 17ක් වන ඇස්තමේන්තුගත ජනගහනයෙන් මිලියන 13කට ආසන්න පිරිසකට මේ වන විටත් TIN අංක නිකුත් කර ඇති අතර, තවත් ලියාපදිංචි වීමට ඉතිරිව ඇත්තේ මිලියන 4ක පමණ පිරිසක් බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
හුදෙක් TIN අංකයක් හිමිවූ පමණින් ආදායම් බදු ගෙවීමට කිසිවෙකුත් බැඳී නොසිටින බව යළිත් සිහිපත් කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මිලියන 13කට TIN අංක පැවතියද රට තුළ දැනට පවත්වාගෙන යනු ලබන්නේ ආදායම් බදු ලිපිගොනු මිලියන 1.2ක් පමණක් බව පෙන්වා දුන්නේය.
දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට පවතින පෝලිම් සහ මාර්ගගත වෙබ් අඩවියේ පවතින තාක්ෂණික දෝෂයන් කඩිනමින් විසඳීමට පියවර ගනිමින් සිටින බවත්, නොවැම්බර් 01න් පසු TIN ලබාගත නොහැකි බවට පළවන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.




