“කෘත්‍රිම බුද්ධිය භාවිතයේදී මහජන විශ්වාසය රැකීම අත්‍යවශ්‍යයි” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තොරතුරු තාක්ෂණ ප්‍රධානියා

මහ බැංකු ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) වගකීමෙන් යුතුව භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා ශක්තිමත් පාලන ක්‍රමවේද, ආරක්ෂාව සහ මානව අධීක්ෂණය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන තොරතුරු නිලධාරිනී ෂිරින් හමීඩ් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 76 වැනි සංවත්සර දේශනය පසුගිය 23 වැනිදා පවත්වමින් ඇය, මහ බැංකුවේ මෙහෙයුම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කිරීමෙන් උදා වන අවස්ථා මෙන්ම ඊට අදාළ අවදානම් පිළිබඳව ද අවධානය යොමු කළාය.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළ පරිදි, IMF තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කරන හමීඩ් මහත්මිය මෙම දේශනය පැවැත්වූයේ “බුද්ධිමත් මහ බැංකුව: කෘත්‍රිම බුද්ධියේ යුගයේ විශ්වාසය ගොඩනැගීම” යන තේමාව යටතේය.

මහ බැංකු තම වගකීම් ඉටු කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කෘත්‍රිම බුද්ධියට හැකියාව පවතින බව ඇය පෙන්වා දුන්නාය. එහෙත් ඒ සමඟ මතුවන අවදානම් ද සැලකිල්ලෙන් කළමනාකරණය කළ යුතු බව ඇය අවධාරණය කළාය.

මහ බැංකු විසින් භාවිත කරන කෘත්‍රිම බුද්ධි පද්ධතිවල තීරණ පැහැදිලි කළ හැකි වීම, ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සහ සදාචාරාත්මක භාවිතය සහතික කිරීම අත්‍යවශ්‍ය බව හමීඩ් මහත්මිය සඳහන් කළාය. වගවීම තහවුරු කිරීම සඳහා ශක්තිමත් පාලන රාමු ද ක්‍රියාත්මක විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

මහජන විශ්වාසයට හානි නොවන අයුරින් ආයතනික තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමේදී ඵලදායී මානව අධීක්ෂණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පිහිටි ඇට්‍රියම් ශාලාවේ පැවති මෙම උත්සවයට ප්‍රතිපත්ති සම්පාදකයන්, මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයන්, විද්වතුන්, වෘත්තිකයන් සහ මාධ්‍යවේදීන් එක්ව සිටියහ.

මෙම දේශනය මගින් මහ බැංකු ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධියේ වෙනස් වෙමින් පවතින භූමිකාව පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසුණු බව මහ බැංකුව සඳහන් කළේය. විශේෂයෙන්ම ආයතනික විශ්වසනීයත්වය, මහජන විශ්වාසය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි එහි බලපෑම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණි.

නව තාක්ෂණයන් පිළිබඳ දැනුවත් සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමටත්, ආයතනික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරමින් අනාගත මහ බැංකුකරණයට සූදානම් වීම සඳහා එම තාක්ෂණයන් වගකීමෙන් යුතුව භාවිත කිරීම දිරිගැන්වීමටත් තමන් කැපවී සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *