ගුවන් හමුදාවට ඩ්‍රෝන පද්ධතියක් ගන්න කෝටි 426කට පාර්ලිමේන්තු අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) වෙනුවෙන් නවීන මිනිසුන් රහිත ගුවන් යානා පද්ධතියක් (UAV System – ඩ්‍රෝන පද්ධතියක්) ස්ථාපිත කිරීම සඳහා රුපියල් බිලියන 4.26ක (රුපියල් මිලියන 4,261ක) අතිරේක ප්රතිපාදනයක් වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
2026 අංක 08 දරන මෙම අතිරේක ඇස්තමේන්තුව ඊයේ පෙරේදා (05) පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවති දීර්ඝ විවාදයකින් අනතුරුව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වෙනස් වන ආරක්ෂක සහ පාරිසරික අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා ගුවන් හමුදාවේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීම මෙම මූල්‍ය ප්රතිපාදනයේ ප්‍රධාන අරමුණ බවයි.
බෙංගාල බොක්කේ ආපදා අවදානම් සහ ජාතික ආරක්ෂාව
වෙනස් වන මෙහෙයුම් පරිසරය, බෙංගාල බොක්ක සහ අවට කලාපය ආශ්‍රිතව නිතර හටගන්නා ස්වභාවික ආපදා අවදානම් මෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවන නව තර්ජනයන් හඳුනාගැනීම සහ නිරීක්ෂණය කිරීම සඳහා මෙම යෝජිත UAV ඩ්‍රෝන පද්ධතිය උපයෝගී කරගැනීමට නියමිතය.
මෙම අතිරේක මුදල් ප්රතිපාදනය ඒකාබද්ධ අරමුදල (Consolidated Fund), වෙනත් රජයේ අරමුදල් හෝ රජයේ ණය ලබාගැනීම් හරහා සපුරා ගැනීමට සැලසුම් කර ඇත.
භාර ආඥාපනත් සංශෝධන පනත් කෙටුම්පතත් සම්මතයි
මේ අතර, භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන ‘භාර (සංශෝධන) පනත් කෙටුම්පත’ (Trusts Amendment Bill) දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව කිසිදු සංශෝධනයකින් තොරව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.




