දුම්රිය වර්ජනය අඛණ්ඩව

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් දින තුනක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 200 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මහතා ඊයේ (9) පස්වරුවේ පැවසීය.

මෙම වර්ජනය හේතුවෙන් දිනකට දුම්රියය ගමන් වාර 65 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවත් වර්ජනය හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ගමන් වාර වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බවත් ඉදිපොළගේ මහතා කීය.

කැලණිවැලි මාර්ගයේ වැඩි සංඛ්‍යාවක් බලවේග කට්ටල ධාවනය වීම නිසා එම මාර්ගයේ ගමන් වාර වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට කළ බවත් සාපේක්‍ෂව සෙසු මාර්ගවල ද ගමන් වාර වැඩි ගණනක් අවලංගු කළ බවත් ඒ මහතා පැවසීය.

බලවේග කට්ටල දුම්රිය රියදුරන්ගේ මෙම වර්ජනයට හේතු වූ තෙවැනි ශ්‍රේණියේ හිට දෙවැනි ශ්‍රේණියට උසස්වීම ගැටලුව මේ වන විට නිරාකරණය කර ඇති බව කී දෙවැනි පංතියේ උසස්වීම්වලට සම්බන්ධ ලිපි 11 ක් අද (10) පෙරවරුවේ රියදුරන්ට යොමු කරන බව ද සඳහන් කළේය.

දෙවැනි ශ්‍රේණියට උසස්වීම රියදුරන් 57 කට මේ වන විට දී ඇති අතර තවත් 11 කට අද පෙරවරුවේ දෙන බවත් දෙවැනි ශ්‍රේණියට උසස්වීම බලාපොරොත්තුවෛන් සිටින රියදුරන් 10 ක් පමණ සුදුසුකම් සපුරා නොමැති බවත් ඉදිපොළගේ මහතා කීය.

විශ්‍රාමික රියදුරන් යොදවා පිට පළාත්වල සිට දුම්රිය ගමන් වාර 10 ක් පමණ අද (10) දිනයේ ක්‍රියාත්මක කරන බවත් අවශ්‍ය වුවහොත් දුම්රිය පරීක්‍ෂකවරු ද ධාවනයට යොදවන බවත් ඉදිපොළගේ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *