අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් නුවරඑළිය පොලිස් ස්ථානය අසල විරෝධතාවයක නිරත විය.
මෙම විරෝධතාවය හේතුවෙන් නුවරඑළිය අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි නුවරඑළියට කැඳවා තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් නුවරඑළිය, පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා සිය ආධාරකරුවන් පිරිසක් සමග ගොස් එහි පාලනාධිකාරිය කාර්යාල අඩස්සියට ගෙන තිබුණි.
ඒ, එම තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ඊට එරෙහිව එම වතුයායේ පාලනාධිකාරිය විසින් අද නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලකට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස නුවරඑළිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතවුණි.
විරෝධතාවයේ නියැලී සිටි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලීසිය තුළට පැමිණෙන ලෙසට නුවරඑළිය පොලීසියේ නිලධාරින් අවස්ථා කිහිපයකදී ඉල්ලිම් කළත්, එම ඉල්ලිම් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
පසුව අමාත්‍යවරයා පොලීසිය තුළට ගොස් උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර පිටතට පැමිණ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලනාධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කරගැනීමට එකඟතාවය පළ කළ බවය.
අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු ආධාරකරුවන් පොලීසිය ඉදිරිපිටින් ඉවත් විය.